අන්තරේ අන්දරේ

ඇත්තටම “අන්දරේ” කිව යුත්තේ අනුරට නොවේ. අන්තරේ හෙවත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ අයියලාට ය. සම-සෞඛ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා පැවැත්වෙන තරග විභාගයකට අයැදුම් කළ උපාධිධාරීන්ගේ විස්තර මාලිමවේ මැතිවරණ අපේක්ෂකයන් අතට දී එය මැතිවරණ තොණ්ඩුවක් ලෙස අවභාවිත කිරීම පිළිබඳව අන්තරේ අයියලා උරණ වී සිටී. එය විහිළුවකි.



රාජ්‍ය සේවය සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේදී ඉතිහාසය පුරාවටම එය සිද්ධ වූයේ මැතිවරණ සහ දේශපාලන පාක්ෂිකයන් මුල් කොට ගෙන ය. එම සම්ප්‍රදාය පළමු වරට බිඳ දැමුවේ ගෝඨාභය රාජපක්ෂ ජනපති ය. උපාධිධාරීන් මෙන් ම සාමාන්‍ය පෙළ සමතුන් පවා බඳවා ගැනීම ඔහු දේශපාලන නියෝජිතයන්ගෙන් සපුරා වෙන් කළේ ය. පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ගෝඨාභය සමග දෙවනුව උරණ වීමට හේතුව එයයි. (පළමුව උරණ වූයේ වාහන පර්මිට් එක නොදුන් නිසා ය.)

ලංකාවේ මිනිස්සු දේශපාලන නියෝජිතයාගෙන් වැඩිපුරම බලාපොරොත්තු වන්නේ රස්සා ය. එය අතීතයේ සිට ම එන දෙයකි. මහින්ද රාජපක්ෂ මහතා ළඟදී මුණ ගැසුණු අවස්ථාවක ඔහු අතීත කථාවක් මතක් කළේ ය. මහින්දගේ ඥාති භාතරයෙකු වූ ලක්ෂ්මන් රාජපක්ෂ මැතිවරණය දිනා සිය කාර්යාලයේ සිටිනා විට ඔහුට ඡන්දය දුන් ගැමියන් පිරිසක් එහි පැමිණ තිබේ. රජයේ රස්සා ලබා දෙන්නයි ඔවුන් ඉල්ලා තිබේ. “රස්සා නේද?” යැයි කියමින් ජෝර්ජ් රාජපක්ෂ සිය සරම දෙකට නවා කුල්ලෙන් පොලන්නාක් මෙන් දෙපැත්තට හොල්ලා තිබේ. ‘ඔන්න රස්සා වැටෙනවා… ඇහිඳ ගනිල්ලා…’ යැයි ගැමියන්ට පවසා තිබේ. ගැමියන් ඔහුට බැන බැන පිටව ගොස් තිබේ. රස්සා නොදුන් විට ඡන්ද දායකයන් දේශපාලකයා සමග උරණ වේ. 

විහිළුව වන්නේ එම සම්ප්‍රදාය කඩ කරමින්, පුද්ගලයාගේ සුදුසුකම් මත පමණක් රජයේ රස්සා දුන් ගෝඨාභයට විරුද්ධව සාහසික අරගල කළ අන්තරේ අන්දරේලා දැන් අනුර කුමාර විසින් නැවත පැරණි සම්ප්‍රදාය අනුව රස්සා දෙන විට එයට විරුද්ධ වීම ය. පුබුදු ජයගොඩලාගේ දුමින්ද නාගමුවලාගේ පරස්පර දේශපාලනය මෙයයි. ගෝඨාභය යනු ලංකාවේ දේශපාලන සිස්ටම් එක වෙනස් කළ මිනිසා ය. අන්තරේ අන්දරේලා කළේ ඒ මිනිහාට පහර දී එළවා දැමීම ය. දැන් නැවත අනුර කුමාර විසින් පරණ සිස්ටම් එක පෙරටත් වඩා හොඳින් අටවාගෙන කරගෙන යන විට “කනෝ කනෝ” කියා බෙරිහන් දීම අපට නම් විහිළුවකි. අපට නම් පෙනෙන්නේ ඕවා බොරු රංගන ලෙස ය. වසන්ත මුදලිගේ කරන්නේ “ඔයාලා කරගෙන යන්න… අපි බොරුවට බනින්නම්…” වැඩේ ය. ඔවුන් කරන්නේ රටේ ජනතාව රැවටීම ය. 

මහින්ද රාජපක්ෂ මහතා තවත් දෙයක් කීවේ ය. එනම් මිනිස්සුන්ට කොච්චර රස්සා දුන්නත් මදි බව ය. “තාත්තටත් දීලා, ලොකු පුතාටත් දීලා, පොඩි පුතාටත් දීලා, හැබැයි දුවට රස්සාවක් දෙන්න බැරි වුණොත් එහෙම අර කලින් ඔක්කොම අමතක කරලා ඊළඟ පාර ඡන්දය දෙන්නේ නැහැ” කියා ය. ඔය සිස්ටම් එකේ අවුල එයයි. එය පවත්වා ගත හැක්කේ කෙටි කාලයකට පමණී. ලාංකිකයා ගුණමකු ද්‍රෝහියෙකි. පොඩ්ඩ වැරදුණු ගමන් පෙර කළ හොඳ සියල්ල අමතක කර විරුද්ධ පක්ෂයට ඡන්දය දී ඔබව පරාජය කර දමයි. එය මාලිමාව විසින් ද අනාගතයේ ඉගෙන ගනු ඇත. නිර්මාල් දේවසිරි මෙන් ඔවුන් ද රෝදය නැවත සොයා ගනිමින් සිටී.

නලින්ද ජයතිස්ස අන්තරේ කියන විදිහට වැඩ නොකළ යුතු ය. සිස්ටම් වෙනස් කිරීමට නොයා යුතු ය. මන්ද එයින් දේශපාලන සංස්ථාව ම තමා සමග උරණ වේ. ගෝඨාභයට අදත් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අකමැති වීමට හේතුව ඔහු ඔවුන්ගේ මෙවැනි දේශපාලන අවස්ථා ඇහිරීම ය. ඔහු එය හොඳ චේතනාවෙන් කළත්, දේශපාලන නියෝජිතයාට එයින් ඵලක් නැත. ඡන්දය ගැනීමට නම් ඡන්ද දායකයාට අත්ලසක් දිය යුතුම ය. එබැවින් මෙම මැතිවරණය දිනා ගැනීමට දිය හැකි සියලු අත්ලස් මාලිමාව විසින් දිය යුතු ය.

අන්තරේ යනු කිසිදු දීර්ඝකාලීන දැක්මක් නොමැති, උපායමාර්ගික සැලසුමක් නොමැති, හැම දේටම බොරුවට විරුද්ධ වෙන අන්දරේලා ටිකක් බව පෙන්වන තවත් උදාහරණයක් පමණී මෙය. ඔවුන් කියවන සිස්ටම් චේන්ජ් එක ඇත්තටම කළේ ගෝඨාභය යි. ගෝඨාභය සැබැවින් ම ලංකාවේ දේශපාලන ව්‍යුහය සුනුවිසුණු කළේ ය. ඔහු (සහ මම) හිතුවේ ලංකාවේ ප්‍රගතිශීලී තරුණයා ඉල්ලන්නේ එය බව ය. නමුත් එතුමාටත් මටත් වැරැදිණි. ලංකාවේ තරුණයා ප්‍රගතිශීලී නැත. ලංකාවේ තරුණයා තරම් ප්‍රතිගාමී අතාර්කික අඥාන ගොබ්බ වහන්සේලා ටිකක් වෙන කිසිම රටක නොමැත. ධර්මය අපට මග වේවා!

එරන්ද ගිනිගේ
2025 අප්‍රේල් 28 

ජනප්‍රිය ලිපි

ගෝඨාභය සහ බැසිල්

දඩයක්කරුවා දඩයම වීම

ප්‍රභූන්ගේ කවටයා