ඝෙටෝවේ ගොසපලය

ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනය ඇසුණු සැනින් මාගේ මතකයට නැඟුනේ මාගේ ප්‍රියතම ඉංග්‍රීසි ගීතයකි. විප්ලවීය ඇමරිකානු රැප් ගායකයෙකු වූ 2PAC ගේ හඬින් ගැයෙන Ghetto Gospel නමැති එම අතිවිශිෂ්ට ගීතය සහ එහි වීඩියෝව මාගේ මතකයේ රඟ දැක්විණි. ඝෙටෝව යනු දරිද්‍ර මිනිසුන් ජීවත් වෙන දුප්පත් ප්‍රදේශයකි. ඇමරිකාවේ කළු ජාතිකයන් ජීවත් වෙන ඇතැම් නාගරික ප්‍රදේශ ඒ නමින් හැඳින්වේ. ඩෑන් ප්‍රියසාද් ජීවත් වූ කොලොන්නාව ද ඒ අර්ථයෙන් ඝෙටෝවකි. ගොසපලය යනු බයිබලයේ අලුත් තෙස්තමේන්තුවේ එන ජේසුස්ගේ ජීවිත කථා ය.


ඩෑන් ප්‍රියසාද් මරණයට පත් වන්නේ පාස්කු සමයේ වීම විශේෂත්වයකි. පාස්කුව යනු ජේසුස් මරණයට පත් වීම සහ නැවත නැගිටීම ය. ඩෑන් ප්‍රියසාද් ද පළමුව මරණයට පත් වූ බවත්, නැවත ඔහු ජීවත් වන බවත් ප්‍රකාශ වීම සහසිද්ධියකි. Ghetto Gospel ගීතයේ කියැවෙන්නේ කළු ජාතික තරුණයෙකු සිය පීඩිත සමාජය දෙසත් තමාගේ ජීවිතය දෙසත් සමයාන්තරව අවලෝකනය කිරීමකි. එය එක්තරා ආකාරයකට 2PAC ගේ ජීවිත කථාව ය. නමුත් ගැඹුරින් බලන කළ එය ජේසුගේ ද ජීවිත කථාව ය. දැන් එය ඩෑන් ප්‍රියසාද්ගේත් ජීවිත කථාව ය.

ඩෑන් ප්‍රියසාද් යනු තමන්ගේ ප්‍රජාවගේ නිදහස වෙනුවෙන් බාහිර සහ අභ්‍යන්තර අධිකාරිය සමග සටන් කළ අයෙකි. ජේසුද එවැන්නෙකි. රෝම අධිරාජ්‍යයට එරෙහිව ඔහු සටන් කළේ තමන්ගේ ප්‍රජාව වෙනුවෙනි. එමෙන් ම ඔහු යුදෙව් පල්ලියේ පූජකයන් සමග ද සටන් කළේ ය. ගොසපලයට අනුව ජේසු යනු තැන්පත් මිනිසෙකු නොවේ. ඔහු අධිකාරිය සමග මුහුණට මුහුණ ගැටුණේ ය. දේව මන්දීරයේ වෙළඳුන්ට පහර දී එළවා දැමුවේ ය. කොටින් ම ඔහු අධිකාරියට කරදරයක් විය. ඩෑන් ප්‍රියසාද් ද එවැන්නෙකි. ඔහුගේ විශ්වාසය මත හිඳිමින් ඔහු අධිකාරිය සමග ගැටුණේ ය. අවසානයේ ඒ දෙදෙනා ම අධිකාරිය අතින් ඝාතනයට ලක් වේ.

Ghetto Gospel වීඩියෝවේ කළු ජාතික තරුණයාට අවසානයේ වෙඩි තබා මරා දමයි. ඇමරිකානු සමාජය තුළ පවතින ගිනි අවි සහ ඝාතන සංස්කෘතිය එයින් සාකච්ඡාවට ලක් කෙරේ. 2PAC මැරෙන්නෙත් විරුද්ධවාදීන් විසින් වෙඩි තැබීමෙන් ය. අද ලංකාවම එවැනි පාතාල රාජ්‍යයකි. ඊයේ දිනයේ පමණක් තැන තැන වෙඩි තැබීම් හතරක් වාර්තා වූ බව කියැවේ. එකම පාසලේ වැඩිමල් සිසුන් පිරිසක් විසින් සිසුවෙකුට හෙල්මට්වලින් පහර දී ඝාතනය කළේ පෙරේදා ය. අරගලය නමැති ජාත්‍යන්තර අධිපති ව්‍යාපෘතිය විසින් නිර්මාණය කළ ලංකාව මෙයයි. හෙට ඔබ හෝ ඔබගේ දරුවා විය හැකිය.

ඩෑන් ප්‍රියසාද්ගේ මරණයට ඔහුගේ විරුද්ධවාදීන් සිනාසෙන බව කියමින් ඇතැමුන් තැවේ. 2PAC ගේ මරණයේදීත් බොහෝ දෙනා සිනාසුණේ ය. ජේසුගේ මරණයටත් එදා බොහෝ දෙනා සිනාසිණි. ජේසු කුරුසය ඔසවා ගෙන යන විට ඔහුගේම මිනිසුන් ඔහුට කැත වචනයෙන් අපහාස කර සිනාසුණේ ය. ඔහු කුරුසයේ එල්ලී වේදනා විඳිද්දී ඔහුට මිනිසුන් සිනාසුණේ ය. එය සාමාන්‍ය දෙයකි. අධිකාරියට අභියෝග කරන්නා මරණයට පත් වූ විට එම අධිකාරිය සිනා සේ. සැබෑ විප්ලවකරුවා යනු මරණයට පත් වූ පසු පැසසුම් පමණක් ලබන්නා නොවේ. උදාහරණයක් ලෙස පාප් යනු විප්ලවකරුවෙකු නොවේ. ඔහු අතිශය සුඛෝපභෝගී සැපවත් ජීවිතයක් ගත කළ හිස් අධිපතියෙකි. ජේසුගේ වචනයට අනුව ස්වර්ගයේ අදම ඉන්නේ ඩෑන් ප්‍රියසාද් වැන්නවුන් මිස පොහොසත් පූජකයන් නොවේ.



“There's no need for you to fear me, If you take your time to hear me, maybe you can learn to cheer me” 2PAC කියනවා “උඹලා මට බිය වෙන්න එපා… මට සවන් දුන්නොත් සමහර විට උඹලා මට ජයඝෝෂා නගයි…” ඩෑන් ප්‍රියසාද්ට අද බනින මිනිස්සු ඇත්තටම ඔහුට බිය වුණා. මැරුණට පස්සේ උන් පොරවල් වගේ කියවනවා. මම ඩෑන් ප්‍රියසාද්ට සවන් දීලා තිබෙනවා. ඔහු හොඳ මිනිහෙක්. දඩබ්බරයෙකු වුණත් ඔහු හොරෙක්, මංකොල්ලකාරයෙක්, මිනීමරුවෙක් නොවන බව මගේ විශ්වාසය යි. ඔහු නිතරම සතුටින් හිටිය මිනිහෙක්. ඔහු දරුවන් තුන්දෙනෙකුගේ පියෙක්. මගේ අවවාදය වුණේ ඔහුගේ සුවඳ ධූප නිෂ්පාදන ව්‍යාපාරය දියුණු කර ගැනීමට වෙහෙසෙන ලෙසයි. 

“I refuse to be a role model, I set goals, take control, drink out my own bottles” ගීතයේ එන මේ වැකිය තමයි මා හිතන්නේ ඩෑන් ප්‍රියසාද් ගැන කියන්න පුළුවන් සරලම සහ කෙටිම විස්තරය. “ආදර්ශමත් චරිතයක් වීම මම ප්‍රතික්ෂේප කරමි… මම ඉලක්ක ගන්නවා… මම පාලනය ගන්නවා… මම මගේ බෝතලෙන් බොනවා…” ඒක තමයි 2PAC ගේ කථාවත්. ඒකම තමයි ජේසුගේ කථාව ත්. ඒක තමයි ඕනෑම සැබෑ විප්ලවකරුවෙකුගේ කථාව. ධර්මය ඔබට මග වේවා!

එරන්ද ගිනිගේ
2025 අප්‍රේල් 23

ජනප්‍රිය ලිපි

ගෝඨාභය සහ බැසිල්

දඩයක්කරුවා දඩයම වීම

ප්‍රභූන්ගේ කවටයා