මගේ ලෝකයේ අවසානය

නලින් ද සිල්වාගේ හොඳම ගෝලයන් යැයි කියා ගන්නා අය අතරින් ප්‍රධාන තැනක් ගන්නා තමළු පියදිගම සහ බටහිර ඉවුරේ වංගීස සුමනසේකර අතර පසුගිය සතියේ නලින් ද සිල්වාගේ දෘෂ්ටිවාදය පිළිබඳව විවාදයක් පවත්වා තිබේ. පැය තුනකට වඩා පැවති එම විවාදයේ වීඩියෝව මම සම්පූර්ණයෙන්ම නැරඹුවෙමි. මේ ලිපිය එම විවාදය පිළිබඳව ය.



එහිදී වංගීස නැවත වතාවක් නලින් ද සිල්වාගේ මගේ ලෝකය කෘතියේ ඇති අභ්‍යන්තර පරස්පරය ඉතා දක්ෂ ලෙස පැහැදිලි කරන ලදී. සරලව කිවහොත් ද සිල්වාගේ පළමු පදනම වන මනසින් තොරව කිසිවක් සත්‍ය වශයෙන් දැන ගත නොහැකි නම්, එහි දෙවන පදනම වන ලෝකයේ වෙනස් වන ස්වභාවය පවා සත්‍ය වශයෙන් දැන ගත නොහැකි බව යි. 

ඔහු තවදුරටත් පැහැදිලි කළේ තමාගේ දෘෂ්ටිවාදයේ ඇති මෙම අභ්‍යන්තර පරස්පරය පසුව හඳුනා ගත් නලින් ද සිල්වා ඒ අනුව සිය දෘෂ්ටිවාදය වෙනස් කර ගත් බවත්, නමුත් එමගින් බුදු සමයේ ත්‍රිලක්ෂණය වැනි පදනම් පවා බරපතල ප්‍රශ්න කිරීමකට ලක් වන බවත් ය. උදාහරණයක් ලෙස නලින් ද සිල්වාගේ දෘෂ්ටියට අනුව ලෝකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය සත්‍යදැයි දැන ගත නොහැකි වේ. වංගීස පෙන්වා දුන්නේ එයට පිළියමක් වශයෙන් ද සිල්වා ඉතා පහසු ලෙස බුද්ධ ධර්මයේ සත්‍යයන් අවබෝධ කළ හැක්කේ මනසින් පරිබාහිර ව යැයි කී බව යි.

ද සිල්වා වෙනුවෙන් කථා කළ තමළු පියදිගම ඉහත සියල්ල පිළිගත්තේ ය. පිළිගත්තා පමණක් නොව, නලින් ද සිල්වා පවා ඔහුගේ ‘මගේ ලෝකය’ නමැති  දෘෂ්ටිවාදය පසු කලෙක ප්‍රතික්ෂේප කළ බව ද පිළිගත්තේ ය. ඒ වෙනුවට ඔහු උත්සාහ කළේ වංගීස බොහෝ විට උත්කර්ෂයට නංවන මෙයසුගේ දෘෂ්ටිවාදය ප්‍රශ්න කරමින් ඒ හරහා විද්‍යාවාදී දර්ශනයක් යෝජනා වීම අභියෝගයට ලක් කිරීම ය. කාන්ට්, ඩේකාර්ට්, හේගල් ගැන කියවමින් බටහිර දාර්ශනිකයන් ගැන තමා දන්නා බව පෙන්වීමට ඔහු උත්සාහ ගත්තා මිස ද සිල්වා ආරක්ෂා කළේ නැත. අඩුම තරමින් ද සිල්වාගේ අදහස සාධාරණය කිරීමට අලුත් කිසිවක් හෝ ඉදිරිපත් නොකළේ ය. සරලව කිවහොත් තමළුට ද සිල්වාගේ ඊනියා දෘෂ්ටිය තහවුරු කළ නොහැකි විය. මෙයසුගේ දෘෂ්ටිය වැරදි යැයි ඔප්පු කළත් ඉන් ද සිල්වාගේ යෝජනාව තහවුරු නොවේ. 

විවාදයේ අවසාන කොටස කාලාම සූත්‍රයේ එන “විඤ්ඤූ” පිළිබඳව සිදු විය. ‘විඤ්ඤූන් යනු කිසියම් සමාජයක දැනුමේ ආධිපත්‍යය හොබවන්නන් ය’ වැනි අස්ථානයකින් දෙදෙනා ම කථා කළ අතර ඒ අනුව ලංකාවේ උපදින කෙනා බෞද්ධ ආධිපත්‍යයෙන් සත්‍යය පිළිගත යුතු වන බවත්, සෞදි අරාබියේ උපදින්නා මුස්ලිම් ආධිපත්‍යයෙන් සත්‍යය පිළිගත යුතු වන බවත්, ඇමරිකාවේ ටෙක්සාස් හී උපදින්නා ක්‍රිස්තියානි ආධිපත්‍යයෙන් සත්‍යය පිළිගත යුතු වන බවත් වංගීස ඉදිරිපත් කළ අතර, තමළු ද එය පිළිගත්තේ ය. අදාළ සූත්‍රය පිළිබඳව ඔවුන් දෙදෙනාගේ ම බාල කියවීම ඉන් ප්‍රකට විය. 

සිත් ගන්නා සුලු ලෙස වංගීස අවසානයේ කීවේ තමළු පවා නලින් ද සිල්වා අත්හැර තිබෙන බවත්, නමුත් තමා තරුණ නලින් ද සිල්වා වෙනුවෙන් පෙනී සිටින බවත් ය. එයට හේතුව නලින් යෝජනා කරන මනසින් තොරව කිසිවක් දැන ගත නොහැකිය යන මුල් වැරදි අදහස වංගීස පිළිගැනීම ය.

එම විවාදය සම්පූර්ණයෙන් ම අසා සිටි මා හට නැවත පැහැදිලි වූයේ එම කථිකයන් දෙදෙනාට මෙන් ම නලින් ද සිල්වාටත් බුද්ධ ධර්මය පිළිබඳව ඇති අල්ප සහ වැරදි අවබෝධය යි. මනස හෝ විඤ්ඤාණය පිළිබඳව ඔවුන් තුළ පවතින ආත්මවාදී දෘෂ්ටිය ඉන් මොනවට පැහැදිලි විය. මා මීට පෙරත් කියා ඇති පරිදි නලින් ද සිල්වා බුද්ධ ධර්මය දැන සිටියේ නැත. ඔහු ම කියා ඇති පරිදි ඔහු ත්‍රිපිටකයේ සූත්‍ර කිහිපයකට වඩා කියවා හෝ නැත. ඔහු කළේ නූතන බටහිර දාර්ශනිකයන් විසින් ඉදිරිපත් කළ අදහස් ඔළුවේ දමා ගෙන එමගින් බුද්ධ ධර්මය තේරුම් ගැනීමට යෑමත්, ඒ හරහා බුද්ධ ධර්මයම ප්‍රශ්න කෙරෙන තැනට පත් කිරීමත්, එයට පිළිතුරක් ලෙස බුද්ධ ධර්මයට පාරභෞතික ගූඪවාදයක් පැටලවීමත්, එමගින් එක්තරා සිංහල බෞද්ධ ප්‍රජාවක් අමරාවික්ෂේපවාදී මිත්‍යා දෘෂ්ටියෙන් අන්ධ කර අනාථ කර දැමීමත් යන පාප කර්ම කර ගැනීම පමණී. 

ධර්මය අපට මග වේවා!

ජනප්‍රිය ලිපි

ගෝඨාභය සහ බැසිල්

දඩයක්කරුවා දඩයම වීම

ප්‍රභූන්ගේ කවටයා