දඩයක්කරුවා දඩයම වීම
දේශපාලනයේදී දේවල් සිද්ධ වන්නේ විරුද්ධාභාසයටය. නෙල්සන් මැන්ඩෙලාව හිරේ දැමීමෙන් එදා අධිරාජ්‍යවාදීන් බලාපොරොත්තු වූයේ ඔහුගේ නිදහස් සටන අවසන් කිරීමටය. නමුත් එයින් සිදු වූයේ ලෝක ඉතිහාසයේ අමරණීය ජනතා නායකයෙකු බවට මැන්ඩෙලා පත් වීමය. මේ අවස්ථාවේ සිය ආණ්ඩුවේ අන්ත අසාර්ථකත්වය වසා ගැනීමට අනුර කුමාර සහ ඔහුගේ ඇමතිලා ටික කරගෙන යන “රාජපක්ෂලා හිරේ දාන නාඩගම” අවසන් වන්නේ දඩයක්කරු දඩයම බවට පත් වීමෙනි.
මහින්දගේ ජීවිත කතාව යම්තම් හෝ දන්නා කෙනෙකු මහින්දට ඔය අනුර දාන ගොන්පාට් දාන්නේ නැත. මහින්ද යනු අමුතුම මිනිසෙකි. ඔහු කුඩා කල සිටම පොදු ජනතාව ඇසුරේ හැදුණු වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම “ජන නායකයෙකි”. ඔහු කිසිම දිනෙක කිසිදු ප්‍රතිවාදියෙකුට භය නොවුණු අයෙකු බව ඉතිහාසය දන්නෝ දනිති. අනුර කුමාර වැනි ප්ලාස්ටික් බෝනික්කන් නොව, ජේ ආර් සහ ආර් ප්‍රේමදාස වැනි දරුණු මිනිසුන් සමග සිය තරුණ අවධියේම මුහුණට මුහුණ ගැටුණු දඩබ්බරයෙකි. සිය මවගේ අවමංගල්‍යයට මහින්ද පැමිණියේ වැලිකඩ ඉඳලා අත් දෙකේ මාංචු දාගෙන බව ටික්ටොක් මල්ලිලා දන්නේ නැතුව ඇති…
එජාප ආණ්ඩුවේ සාහසික තරුණ මර්දනයට එරෙහිව අභීතව උසාවි ගිය මිනිසා මහින්දය. ලෝකයේ ත්‍රස්තවාදී සංවිධානයක් සහමුලින්ම පරාජය කළ එකම මිනිසා ඔහුය. සුද්දන් ඉදිරියේ දෙකට නැවෙන නිවට අනුර කුමාර නොව, ලෝකයේ බලවත්ම රටවල සුද්දන්ට සුද්ද ඉංග්‍රීසියෙන් හොඳවයින් ඒවා කියා ආපු අහස් යාත්‍රාවේම හරවා යැවූ මහින්දට දාන්න සත්තම් අනුර ළඟ නැත. කොටින්ම කිසිවෙකුට කිසිම ආකාරයකින් මහින්දට රිදවන්නට බැරිය. මහින්ද ඉන්නේ වෙනම ලෙවල් එකක. අනුර කුමාරට මම අභියෝග කරනවා පුළුවන් නම් ඔය කියන එක කතාවක් මහින්දගේ මුහුණට කියන්න කියලා. කියන්න බැහැ. මහින්ද ඉස්සරහා අනුර කියන්නේ පණු පැටියෙක්.
මහින්දගේ ලක්ෂණ ඒ විදිහටම නාමල්ට පිහිටලා තිබෙනවා. අනුර මේ කරන වැඩේට නාමල් කැමතියි කියලා මම දන්නවා. යහපාලනයෙන් නාමල්ව හිරේ දැම්මා මතකද? එයින් වුණේ නාමල් සියලුම සිරකරුවන් සමග දැඩි මිත්‍රත්වයක් ගොඩ නගා ගැනීමයි. අන්තිමට හිරේට ගියාට වැඩිය විශාල දැනුමක් සහ ජනතා සහයෝගයක් හදාගෙන තමයි නාමල් එළියට ආවේ. මහින්දට වගේම නාමල්ට තියෙනවා ඕනෑම මිනිහෙකුගේ ආදරය දිනා ගැනීමේ සහජ හැකියාවක්. රාජපක්ෂලා කියන්නේ වැටෙන්නේ කොතනද, එතන ඉඳන් නැවත වේගයෙන් මුල් ඇදලා වැඩෙන ගස් වගේ මිනිස්සු. මහින්දව නිල නිවසින් එළවන්නකො බලන්න. මහින්ද සිය පවුලත් එක්කම නැවත නැගිටින හැටි හිතා ගන්න බැරි වෙනවා. මහින්ද සහ ට්‍රම්ප් එක වයසේ බව අමතක කරන්න එපා.
අනුර කුමාරට ජනාධිපති ඌස්නේ ගහලා වගෙයි මට නම් පේන්නේ. ඔය සඳළුතලයෙන් බිමට බහින්න, සහෝදරයා. රටේ මිනිස්සුන්ට සම්බෝලයි බතුයි තියා ලුණුයි බතුයි කන්නවත් බැරුව ඉන්නේ. තමන්ගේ මූලික කාර්යය කරගන්න බැරි වුණාම වෙන අනංමනං කරලා වැඩක් නැහැ. ඒ බුල්ෂිට් එක ජනතාවට පේනවා. යෝෂිතව අත්අඩංගුවට ගත්තට ආණ්ඩුව අපේක්ෂා කළ සමාජ ආතල් එක වුණේ නැහැ නේද... වුණේ ආණ්ඩුව තවත් චාටර් වීම පමණයි. හැබැයි මේක දේශපාලනිකව අපිට වාසියි. දැන් නැවත රටේ ප්‍රධාන මාතෘකාව රාජපක්ෂලා. ප්‍රධාන විපක්ෂය බවට රාජපක්ෂලා එසවෙමින් තිබෙනවා. මොකද ආණ්ඩුවේ ප්‍රධාන ප්‍රතිවාදියා වෙලා ඉන්නේ රාජපක්ෂලා. මාවිල්ආරු සොරොව්ව වැහුවේ නැත්නම් පිරපා තාම ජීවතුන් අතර ඉන්නවා. වේළු නිකම් ඉල්ලගෙන කෑවා…
මේ වෙලාවේ නාමල් වටේ අලුත් තරුණ පිරිසක් ඓන්ද්‍රීයව ඒකරාශී වෙමින් ඉන්නවා. ඔවුන් නාමල්ව දැඩිව විශ්වාස කරනවා. ඉදිරියේදී ඒ බලවේගය වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. දැන් නම් මට කැට තියලා කියන්න පුළුවන් මාලිමාවේ තරුණ ප්‍රජාව පවා ඉදිරියේදී නාමල් සමග එකතු වෙනවා. ආණ්ඩුවට වැඩේ කරගන්න බැරි බව දැන් පැහැදිලියි. ගෝඨාභයට හැම මාසෙම ගෙවිය යුතු ඩොලර් මිලියන 500 ක ණය වාරික තිබ්බා. අනුරට එහෙම නැහැ. ගෝඨාභයට පාලනය කරන්න මාරාන්තික වසංගතයක් තිබ්බා. අනුරට ඒකත් නැහැ. මහින්දට ඉවර කරන්න ත්‍රස්තවාදී යුද්ධයක් තිබ්බා. අනුරට එහෙම එකකුත් නැහැ. සීයා රෝලා යනකොට සංචිතත් හදලා ගියේ. කොටින්ම අනුරට කිසිම අර්බුදයක් නැහැ. ඒත් මිනිහට හාල් ටික පොල් ටික තියා ලුණු ටිකවත් දීගන්න බැහැ. ඇමතිවරු කට ඇරියොත් නාගන්නවා. ගමන පැහැදිලියි බ්‍රෝ.
මට හිතෙන්නේ අනුරටත් මේක තේරෙනවා. ඒ වගේම අනුර හිතනවා ඔහුට ඡන්දය දුන්නු බයියො ටික ඊළඟට නාමල්ට ඡන්දය දෙනවා කියලා. “අපිට බැරි වුණත් දාලා යන්නේ නැහැ” වගේ අමු අදේශපාලනික කතාවක් අර නියෝජ්‍ය ආරක්ෂක ඇමතිගේ කටින් කියවෙන්නේ ඒ බය. ඒ බයට තමයි ඔය රාජපක්ෂලා ඉලක්ක කරන්නේ. ඒකෙන් වෙන්නේ කොහොමත් වෙන දෙය තවත් වේගවත් වීම පමණයි. දිස් ඉස් පොලිටික්ස්.





