දිලිත්ගේ වත්කම
තමා පයින් එන විට තැපැල් නයින්ටියෙන් නීති පීඨයට පැමිණි දිලිත් ජයවීර අද වන විට ලංකාවේ මහා ධන කුවේරයෙකු බවට පත් ව ඇත්තේ කෙසේද කියා සෙවිය යුතු බව අද පාර්ලිමේන්තුවේ සුනිල් වටගල පැවසුවා. ඒ සඳහා ඔවුන් අලුත් පනතක් ගෙන එනවා.
මා දන්නා දිලිත් නම් යස ව්‍යාපාරිකයෙකි (ව්‍යවසායකයෙකු නොවේ.) ඔහුට ධනවතෙකු වීමේ නොතිත් ආසාවක් තිබේ. එය වැරදි නැත. ධනවතුන් වෙන්නේ එසේ ආසාව ඇත්තන් ම ය. වටගල නම් බැලූ බැල්මට කුසීතයෙකි. ඔහුගේ දැනුම අල්ප ය. එවැන්නවුන්ට කිසිදා ධනවතුන් විය නොහැකිය. දිලිත් යනු සෑම මොහොතක ම මුදල් සොයන හැටි ගැන හිතන, ඒ වෙනුවෙන් දිනකට පැය දොළහකට වැඩිය වෙහෙසෙන කාර්යශූරයෙකි. ධනවත් ව්‍යාපාරිකයෙකු වීමට නම් එම කැපවීම අනිවාර්ය වේ.
ධනවතෙකු වීමට නම් වත්කම් (assets) එකතු කළ යුතුය. ඔබට ජීවත් වීම සඳහා ඉදි කර ගන්නා නිවස වත්කමක් නොවේ. ඔබ රැකියාවට යන්න එන්න ගන්නා මිලාධික වාහනය වත්කමක් නොවේ. ඔබ මිලට ගන්නා ස්මාර්ට් ෆෝන් එක වත්කමක් නොවේ. ඒවා වගකීම් ය (liabilities).
වත්කමක් යනු ඔබට ධනය උත්පාදනය කර දෙන වස්තුවකි. ඔබට අයත් නිවසක් බදු කුලියට දෙනවා නම් එය වත්කමකි. ඔබේ වත්තේ වැවෙන එළවළු පළතුරු විකිණීමෙන් ආදායමක් එනවා නම් එය වත්කමකි. ඔබට අයත් වාහනයෙන් මගීන් රැගෙන ගොස් ගාස්තුවක් ගන්නවා නම් එය වත්කමකි. ඔබේ ජංගම දුරකථනය භාවිතා කර ඔබ මුදල් උපයනවා නම් එය වත්කමකි. දිලිත් ජයවීරට එවැනි වත්කම් තිබේ. ඔහුට මුදල් උපයා දෙන ව්‍යාපාර තිබේ. ඔහු ඒවා අත්පත් කරගත්තේ අයථා ක්‍රමයෙන් යැයි ඇතැමුන් කීවත් ඒවායේ සත්‍යාසත්‍ය මා දන්නේ නැත. නමුත් තැපැල් නයින්ටියෙන් පැමිණි නිසාම ඒ මිනිහට ලංකාවේ ධන කුවේරයෙකු විය නොහැකි යැයි කීම ජාතික ජන බලවේගයට ඡන්දය දුන් වැසියන් තුළ පවතින ජන්ම ඉරිසියාව පෙන්වන මුග්ධ ප්‍රකාශයක් පමණී.
බොහෝ ව්‍යාපාරිකයන් ධනවතුන් වන්නේ අයථා ක්‍රමවලින් බව ද සත්‍යයකි. 100% ක් සුපිරිසිදු ව්‍යාපාරයක් ලෝකයේ නැත. ටෙන්ඩරයක් පාස් කර ගැනීම වෙනුවෙන්, අවසර පත්‍රයක් ගැනීම වෙනුවෙන්, ඕඩරයක් තහවුරු කර ගැනීම වෙනුවෙන්, වැඩි ලාභයක් කපා ගැනීම වෙනුවෙන් ව්‍යාපාරිකයන් විවිධ ක්‍රම අනුගමනය කරයි. ලිංගික අල්ලස් සැපයීමේ සිට පාතාලය හරහා බිය ගැන්වීම දක්වා විවිධ ක්‍රම ඔවුන් අනුගමනය කරයි. තරගකරුවන් විනාශ කර දමයි. තමා විකුණන භාණ්ඩයේ නැති ගුණ පෙන්වමින් ඒවා අලෙවි කරයි. අනුර කුමාර පවා බලයට පැමිණියේ ලෝක බොරු කන්දරාවක් කියා ය. ව්‍යාපාරිකයන් ද එසේ ය. දිලිත් කියන අලෙවි ප්‍රචාරණ ක්ෂේත්‍රය ම පට්ටපල් බොරුවෙන් දුවන්නකි.
දිලිත්ට අයත් දෙරණ මාධ්‍ය ජාලය විසින් සමාජයට හානි සිදු කරයි. ප්‍රේක්ෂකයාගේ බුද්ධිය සහ රසඥතාවය මොට කරන බාල අවර ජුගුප්සාජනක වැඩසටහන් පෙන්වයි. බෞද්ධ සිංහල සංස්කෘතික වටිනාකම් බිඳ දමයි. දේශපාලන පක්ෂපාතීත්වයෙන් කථා කරමින් ප්‍රජාතන්ත්‍රය දූෂණය කරයි. විරුද්ධ මත දරන්නන්ගේ අදහස් වළකයි. ඒවාද අයථා ක්‍රියා ය.
එමෙන් ම ස්වභාවික පරිසරය විනාශ කරමින් සිදු කරන ව්‍යාපාර ද තිබේ. ගඟට මුහුදට ප්ලාස්ටික් පොලිතින් එකතු කරයි. පසට වසවිස එකතු කරයි. රිලව් ඇතුළු සතුන් අල්වා විකුණයි. දිලිත්ට අයත් හෝටල් විසින් ලංකාවේ සුන්දර වෙරළ තීර කැත තාප්පවලින් වසා දමයි. ඒවා ද අයථා ක්‍රියා ය.
එම විනාශකාරී පැරණි සාම්ප්‍රදායික ව්‍යාපාර ව්‍යුහයටම වෙනස්ව ව්‍යාපාර කරන ක්‍රමයක් ලෙස “සමාජ ව්‍යවසායකත්වය” (Social Entrepreneurship) ලංකාවට හඳුන්වා දීමට මම කටයුතු කළෙමි. ඒ වෙනුවෙන් දියත් කළ “ඇත් පවුර” වැනි වැඩසටහන්වලට දිලිත් ජයවීර එකල ගැරහුවේ ය. එයට හේතුව එම අලුත් සංකල්ප තේරුම් ගැනීමට දිලිත් ජයවීර වැනි සාම්ප්‍රදායික ව්‍යාපාරිකයන්ට කපාල ධාරිතාවයක් හෝ නිහතමානීකමක් නැති වීම ය. පැරණි ක්‍රමයෙන් ධනවතුන් වූ ඔවුන්ට අලුත් ක්‍රමයක් පරිකල්පනය කළ නොහැකි ය. ඒ පිළිබඳව යම් පමණකට හෝ අවබෝධයක් ලැබුවා නම් ලැබුවේ අශෝක් පතිරගේ ය. ඔහු විද්‍යාත්මක දැනුම සහිත උගත් ධනපතියෙකි. නමුත් ඔහු එය ක්‍රියාත්මක කළා ද කියා මා දන්නේ නැත.
ජනපති ගෝඨාභය රාජපක්ෂ හරහා මා බලාපොරොත්තු වූයේ මෙම සිස්ටම් වෙනස වනු ඇත කියා ය. යම් යම් අවස්ථාවල ගැටලු තිබුණත් ඔහු එය සැලකිය යුතු දුරකට කරන්නට පටන් ගත්තේ ය. ඊනියා අරගලය හරහා ඔහු එළවා දමන්නේත් ඒ නිසා ය. ඔහුට දිය යුතු සාධාරණ කාලය සහ අවස්ථාව, නූගත් මෝඩ ම්ලේච්ඡ අරගලකරුවන් විසින් පැහැර ගන්නා ලදී. එයින් පරණ ව්‍යාපාර ක්‍රමය නැවත ආරක්ෂා විය. අනුර කුමාර පවා දැන් එම විනාශකාරී ව්‍යාපාර ව්‍යුහයේ ගොදුරකි. ඔහු නැටවෙන්නේ මෙරට පිටරට ව්‍යාපාරිකයන්ගේ කළු නූල්වලිනි. එසේ නොකෙරුවොත් ඔහුවත් එළවා දමනු ඇත. එබැවින් ජාජබ ආණ්ඩුව මේ පාර්ලිමේන්තුවේ කියන කථා කිසිදු හරයක් නැති විහිළු ම පමණී. ඔවුන්ට ද අලුත් චින්තනයක්, අලුත් ක්‍රමවේදයක්, අලුත් මානව සම්පතක් නොමැත.
මේ ව්‍යාපාර සියල්ලට ම වඩා ලාභදායි තවත් ව්‍යාපාරයක් තිබේ. එනම් ඊනියා සිංහල බෞද්ධ ව්‍යාපාරයයි. එම ගෝලීය ව්‍යාපාරයේ සටකපට නූතන අයිතිකරුවන් විසින් විශාල වත්කම් උපයා ගන්නා ආකාරය හෙළිදරව් කිරීමට ඔය කියන අලුත් පනත ප්‍රයෝජනවත් වන්නේ නම් යහපති. ධර්මය අපට මග වේවා!