වෛද්‍ය ජනපති

වෛද්‍යයෙකුට ඕනෑම සමාජයක විශේෂ ගෞරවයක් තිබේ. අදටත් ගමේ වෙද මහත්මයාට ගැමියෝ ගරු කරති. එයට ප්‍රධාන හේතුව වන්නේ ඕනෑම මනුෂ්‍යයෙකුට හෝ වෙනත් සත්ත්වයෙකුට හෝ පිහිට වන්නේ වෛද්‍යයා හෙවත් වෙදා වීම ය. වෛද්‍ය යනු ම විද්‍යාත්මක බව ය. බටහිර දොස්තරවරු පවා ජීවය සහ රසායනය පිළිබඳ ගැඹුරින් උගත්තෝ ය. එබැවින් ජාති ජරා මරණ ලෝක විෂය පිළිබඳ ව අන්‍යයන් ට නොමැති අවබෝධයක් වෛද්‍යයන් සතු ය. රෝගීන්ගේ සෙම් සැරව ලේ මළ මුත්‍ර ආදිය ඉවසමින් ඔවුන් ට අනුකම්පාවෙන් උවැටන් කිරීම මහත් අසීරු කාර්යයකි. මේ සියලු කාරණා නිසා ඕනෑම සමාජයක වෛද්‍යයන් විශේෂ වේ.



නමුත් අද ලක් සමාජයේ වෛද්‍යයන් කෙරෙහි ඇති ගෞරවය බොහෝ හීන වී තිබේ. එයට ද විවිධ හේතු තිබේ. වෛද්‍ය සේවය අද වන විට බොහෝ සේ වාණිජකරණය වී තිබේ. පෞද්ගලික රෝහල් සහ චැනල් කිරීම් තුළ විනාඩියක් හෝ රෝගියා පරීක්ෂා නොකරන වෛද්‍යයන් සිටී. රජයේ රෝහල් තුළ රෝගීන්ට අකාරුණික ව සලකන වෛද්‍යයන් ද සිටී. නමුත් සියලු වෛද්‍යයන් එසේ නොවේ. වාණිජ ලෝකය තුළ පවා රෝගීන් මැනවින් පරීක්ෂා කර නිවැරදි ඖෂධයෙන් ගත සනසා, කාරුණික වදනින් සිත සනසන වෛද්‍යයන් බොහෝ සිටී. නමුත් සමස්තයක් ලෙස ලංකාවේ වෛද්‍යයන් පමණක් නොව සමාජයට වැදගත් සේවා සපයන ගුරුවරයා, නීතිඥයා, රාජ්‍ය සේවකයා ඇතුළු බොහෝ වෘත්තිකයන් ට ජනතාව තුළ ගෞරවයක් නැත. අප්‍රසාදයක් ඇත. ඇතැම් විට වෛරයක් ද ඇත. එසේ වූයේ කෙසේ ද?

“සිස්ටම් චේන්ජ්” කිරීමේ විපාකය මෙය යි. ඕනෑම සමාජයක ස්වභාවික සිස්ටම් එකක් තිබේ. අනාදිමත් කාලයක් තිස්සේ හැදුණු සිස්ටම් එකක් හදිසියේ කඩා බිඳ දැමූ විට වෙන්නේ සමාජය අසංවිධිත වනචාරි පරිහානියට යෑම ය. පසුගිය කාලය පුරාවට ම අප දුටුවේ ලංකාවේ සිස්ටම් එක වෙනස් කිරීමේ ව්‍යාපෘතියකි. සමාජ සංස්ථාවේ ඉහළ සිට පහළට දැඩිව පහර ගැසිණි. ප්‍රජාතාන්ත්‍රිකව තෝරා ගත් ජනාධිපතිවරයා බලහත්කාරයෙන් එළවා දැමිණි. ජනතා නියෝජිතයන් මහමග ඝාතනය කර ඔවුන්ගේ නිවාස ගිනි තබා විනාශ කෙරිණි. එසේ කළ සාහසිකයන් අත්අඩංගුවෙන් මුදවා අත්පුඩි ගසමින් නැවත ප්‍රචණ්ඩත්වය සඳහා මුදා හැරියේ නීතිඥයන් ම ය. බඩ බොකුවැල් එළියට එල්ලෙමින් පැමිණි රෝගීන්ට ප්‍රතිකාර කිරීම ඇතැම් වෛද්‍යයන් ප්‍රතික්ෂේප කළේ ය. පොලිසිය සහ හමුදාව භීෂණයට ඉඩ දී බලා සිටියෝ ය. ලංකාවේ සිස්ටම් එක බිඳ වැටුණේ ය. අද අප අත්විඳින්නේ එහි පසුකම්පන ය.

සමාජයක් පවත්වා ගැනීමට නම් එහි සාමාජිකයන් කිසියම් එකඟතාවයන්ට පැමිණිය යුතුය. “ව්‍යවස්ථාව” යනුවෙන් හඳුන්වන්නේ එම පුළුල් එකඟතාවය යි. අරගලයේ න්‍යායාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි එදා කීවේ “ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකි ය” කියාය. අද ඔබ දකින්නේ ව්‍යවස්ථාව උල්ලංඝනය කළ විට වෙන දෙය යි. කිසියම් පාසලක ශිෂ්‍යයෙක් සිය විදුහල්පතිට අමු තිත්ත කුණුහරුපයෙන් බැන වදිමින් තර්ජනය කරන වීඩියෝවක් සංසරණය වේ. මේවා සියල්ලෙන් පෙන්වන්නේ ලංකාවේ සමාජ සංස්ථාව හෙවත් සිස්ටම් එක බිඳ වැටී ඇති බව යි. මෙම තත්ත්වය මෑත කාලයේ ඇති කළේ අරගලය විසිනි. 

මෙම තත්ත්වය ඇති කිරීමෙහි ලා ජාතික ජන බලවේගය විශේෂයෙන් වගකිව යුතු ය. කප්පරක් බොරු බේගල් කියා සමාජ සංස්ථාව පිළිබඳ ව විශ්වාසය බිඳ දමා සමාජය ම වෛරයෙන් පිරුණු රෝගියෙක් කළේ ඔවුන් ය. සිස්ටම් එක බිඳ දමා බලය ලබා ගත්තා ට සිස්ටම් එක නැතුව සමාජය පවත්වා ගත නොහැකි ය. ජනපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ඇති සැබෑ අභියෝගය මෙය යි. ඔහුට තෝරා ගත හැකි මාර්ග දෙකක් තිබේ. පළමුවැන්න නම් විනාශකාරී මාර්ගයේම යමින් මර්දනය යොදා ගනිමින් ඒකාධිපතියෙකු ලෙස කටයුතු කරමින් සමාජය භීතියෙන් ශික්ෂණය කිරීම ය. දෙවැන්න නම් ලක් සමාජ සංස්ථාව නැවත ගොඩ නැගීම ය. බෞද්ධ ධර්මය පෝෂණය කරමින් බෞද්ධ ශාසනය ශක්තිමත් කරමින් සමාජය නැවත මධ්‍යම ප්‍රතිපදාවට ගෙන දැහැමෙන් සෙමෙන් රාජ්‍ය කිරීම ය.

ජනපතිතුමාට අප යෝජනා කරන්නේ දෙවන ක්‍රමය අනුගමනය කරන ලෙස ය. ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ප්‍රදර්ශනයට පෙර මේ දැන් සිට ම රට පුරා සියලු විහාරස්ථාන සම්බන්ධ කොට දීපව්‍යාප්ත සීල ව්‍යාපාරයක් ආරම්භ කරන මෙන් අපි ගෞරවයෙන් ඉල්ලා සිටිමු. සිංහල අලුත් අවුරුද්ද නැවත අපගේ පැරණි සාම්ප්‍රදායික ක්‍රමයට පැවැත්වීම සඳහා ග්‍රාමීය මට්ටමින් සංවිධාන කටයුතු ඊට සමගාමී ව ආරම්භ කළ යුතු ය. ඕනෑම සමාජයක සාරධර්ම රැකෙන්නේ එවැනි සිස්ටම් හරහා ය. ඔබ කළ යුත්තේ අලුත් ජාතික උත්සව පැවැත්වීම නොවේ. අනාදිමත් කාලයක සිට මනු ගුණදම් ප්‍රචලිත කළ අපගේ පැරණි ජාතික උත්සව නැවත ස්ථාපනය කිරීම ය. මෙරට සමාජ සංස්ථාව නැවත ධර්මයේ ආලෝකයෙන් උද්දීපනය කර පණ ගැස්සවීම ය. එවිට සමාජය සුවපත් වී අපරාධ අවම වී සාමකාමී වනු ඇත. රෝගී සමාජය සුවපත් කරන වෛද්‍යා වීමට අනුර ට හැකි ය. ධර්මය අපට මග වේවා!

ජනප්‍රිය ලිපි

ගෝඨාභය සහ බැසිල්

දඩයක්කරුවා දඩයම වීම

ප්‍රභූන්ගේ කවටයා