අනුරගේ නැගිටීම

ගරු අනුර කුමාර දිසානායක මහතා නිවැරදි මාර්ගයට අවතීර්ණ වී තිබේ. එනම් එතුමා ලක්දිව බෞද්ධ ශාසනයේ ප්‍රධාන ආරක්ෂකයාගේ භූමිකාවට අවතීර්ණ වී තිබේ. අද පැවති අක්තපත්‍ර පිළිගැන්වීමේ උත්සවයේ දී ජනපති ඉතා ශ්‍රද්ධාවෙන් පසඟ පිහිටුවා එය සිදු කරනු දැකීම අප හට ඉමහත් සතුටකි. විවිධ පක්ෂවලට අයත් හිටපු ජනපතිවරුන් ද සහභාගී වූ එම උත්සවය අපට පෙන්වන්නේ සිංහලයා සමගි කිරීමට බෞද්ධ සම්ප්‍රදායට ඇති ඒකාන්ත සහ අනන්‍ය හැකියාව ය. ලංකාවේ රාජ්‍ය කරවීම යනු මෙය යි.



මේ වනාහි වැළැක්විය නොහැකි ප්‍රපංචයකි. ජනපති ඔහුගේ කථාවේ කීවේ රටේ තිබෙන ආර්ථික, සමාජ දේශපාලන ගැටලු සියල්ලට විසඳුම ඇත්තේ බෞද්ධ ධර්මය තුළ බව ය. බොරුවෙන් හෝ ඇත්තෙන් හෝ රාජ්‍යය බාර ගත් පසු එහි මහා භාරය ජනපතිගේ දෙඋර මත පැටවේ. රාජ්‍ය පාලනයේ සැබෑ අභියෝගය දැනෙන්නේ එවිට ය. එය මහා දුක්ඛය කි. මහත් අපහසුවකි. නොනවතින නොසන්සුන්තාවයකි. 

අනුර කුමාර මෙතෙක් කල් ගත කළේ සුවපහසු දිවියකි. ඔහුට මිලමුදල් යානවාහන වාසස්ථාන දැසිදස්සන් සියල්ල පහසුවෙන් ලැබිණි. එවැනි ජීවිතයක් ගත කිරීමේ දී අපහසුව එක වර නොදැනේ. නමුත් දැන් රාජ්‍යයේ නායකයා වූ පසු ඔහුට මුළු රටේම දුක්ඛය එක වර පැවරී තිබේ. එවැනි තත්ත්වයකට පත් වන කවුරු වුවත් එම දුක්ඛයෙන් මිදීමට ක්‍රමයක් සොයයි. ඒ සඳහා ඇති එකම ක්‍රමය බෞද්ධ ක්‍රමය බව එවිට වැටහේ. අනුර කුමාරගේ සැබෑ නැගිටීම වෙන්නේ දැන් ය.

මෙම මාර්ගයෙන් බැහැර නොවී, ආර්යයන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ලබමින්, ලක්දිව බෞද්ධ ශාසනය පෝෂණය කරමින්, බෞද්ධ ප්‍රතිපදාව අනුව මෙරට ජනතාව ශික්ෂණය කරමින් ගිය හොත් ඔබතුමාට වරදින්නේ නැත. එවිට පෙර කළ වැරදි ගැන පසුතැවීමට අවශ්‍ය ද නැත. ප්‍රතිවාදීන් කෙරෙහි ද්වේශ කරමින් ගැටෙන්නට උවමනාවක් ද නැත. ඔබ කළ යුත්තේ ඔවුන්ට වඩා ඉදිරියෙන් ගමන් කිරීම ය. පරා ජය ගත හැකි එකම ක්‍රමය එය ම වේ.

ධාර්මික රාජ්‍ය නායකයෙකු කෙරෙහි නුවණැති සියලු දනා පැහැදේ. එබැවින් බිය නොවී ධර්මයෙහි ම හැසිරිය යුතු ය. බෞද්ධ ශාසනයට එරෙහිව කටයුතු කරන දෙස් විදෙස් බලවේග මෙන්ම ජාතික ජන බලවේගය තුළම සිටින දුෂ්ට බලවේග ද නොබියව ප්‍රතික්ෂේප කර අත්හළ යුතු ය. එවිට ආයාසයකින් තොරව රාජ්‍යය දියුණු වනු ඇත. 

මේ අවස්ථාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් මා ඉතා කරුණාවෙන් ඉල්ලා සිටින්නේ ලංකාවේ ක්‍රියාත්මක වන කෲර සත්ත්ව ඝාතන සියල්ල ම \නවතා දැමීමට නොබියව පියවර ගන්නා ලෙසට ය. ලක්ෂ ගණනක් අහිංසක සතුන් දිනපතා වේදනාවට ලක් කර වධ දී මරා දමා තත්පර ගණනක රසයක් දිවට දීම සාහසික අපරාධයකි. බෞද්ධයන් වන ඔබටත් මටත් අන්‍යයන්ටත් ලැජ්ජාවකි. විශේෂයෙන් ම 21 වන සියවසේ දියුණු ආහාර නිෂ්පාදනයක් සහිත නවීන ලෝකයේ එවැනි නොදියුණු ප්‍රාථමික චර්යාවන් අවශ්‍ය නැත. 

ආරම්භයක් ලෙස ශ්‍රී දළදා වහන්සේ ප්‍රදර්ශනයට පෙර ගව ඝාතනය සම්පූර්ණයෙන් ම තහනම් කර දමා අහිංසක සතුන්ට අභය දානය දීමට ඔබතුමාට හැකි ය. සත්ත්ව මාංශ වෙනුවට අද ලෝකයේ සීඝ්‍රයෙන් දියුණු වන නිර්මාංශ ආහාර නිෂ්පාදනය සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර, එම නිෂ්පාදන මෙරට සහ පිටරට වෙළඳපොළට හඳුන්වා දී ශ්‍රී ලංකාව අවිහිංසාවේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට ඔබතුමාට හැකි නම් එය කෙතරම් අගනේ ද! ධර්මය අපට මග වේවා!

ජනප්‍රිය ලිපි

ගෝඨාභය සහ බැසිල්

දඩයක්කරුවා දඩයම වීම

ප්‍රභූන්ගේ කවටයා