දන්ත ධාතු වන්දනා - 1

“දන්ත” ධාතුන් වහන්සේ පිළිබඳව කථා කිරීමට බොහෝ දේ තිබේ. එහි වචන මූලයෙන් ඇරඹීම මැනවි. මාගධී (පාලි) භාෂාවේ එන “දන්ත” යන වදන සංස්කෘතයේත් ඒ ආකාරයෙන් ම යෙදේ. නූතන සිංහලයට “දත/දත්” ලෙස එය විකාශය වී තිබේ. මේ වනාහි ඉන්දු-යුරෝපියානු (IE) භාෂා පවුල පුරාම එතරම් වෙනස් වීමකින් තොරව දැක ගත හැකි විශේෂ වචනයකි.




උදාහරණ ලෙස ලතින් dens, ඉතාලි dente, ස්පාඤ්ඤ diente, ප්‍රංශ dent, පෘතුගීසි dente, රොමේනියානු dinte සජාතීය පද දැක්විය හැකි ය. ලතින් සම්බන්ධ විභක්තිය dentis යන්නෙන් නූතන ඉංග්‍රීසියේ dental සෑදේ. Dentistry යනු දන්ත වෛද්‍ය ක්‍රමය යි. 
නමුත් දතට ඉංග්‍රීසියෙන් tooth යනුවෙන් ද වචනයක් තිබේ. එය හැදෙන්නේ ජර්මානු භාෂා අත්තෙනි. ග්‍රිම්ගේ නීතිය (Grimm’s Law) අනුව “ඩ” ශබ්දය කාලයාගේ ඇවෑමෙන් “ට” වේ. ඒ අනුව ගොතික් tunþus, පැරණි ඉංග්‍රීසි tōþ, නූතන ඉංග්‍රීසි tooth, පැරණි නොර්ස් tönn, ස්වීඩන් සහ ලන්දේසි tand සෑදේ. ජර්මානු වචන හැදෙන විට “ට” ශබ්දය බොහෝ විට “Z” වේ. ඒ අනුව දත් සඳහා ජර්මානු වචනය වන්නේ Zahn.

මෙහි විශේෂත්වය වන්නේ dent(al) සහ tooth ඇතුළු මේ සියලු වචන පැවත එන්නේ එක ම පූර්වජ වචනයකින් වීම ය. එනම් වාග් විද්‍යාඥයන් විසින් ප්‍රතිනිර්මාණය කර තිබෙන ප්‍රාග් ඉන්දු-යුරෝපියානු (PIE) භාෂාවේ “dents” (හෝ h₁dónts) යන්නෙනි. එම මුල් භාෂාව කථා කළ මිනිසුන් සමූහ වශයෙන් වෙන් වී සංචාරය කිරීමෙන් භූගෝලීය ව වෙන් විය. වසර දහස් ගණනක් පුරා ඔවුන්ගේ භාෂා විකාශය විය. නමුත් එම භාෂාවන්ගේ මූලික වචන කෝෂය දෙස ප්‍රවේශමෙන් බැලූ කල IE භාෂා සියල්ල එකම පවුලක බව පැහැදිලිව පෙනේ. යුරෝපීයයන් සහ සිංහලයන් ඉපැරණි ලේ ඥාතීන් බව සනාථ කරන ජීවමාන සාක්ෂිය වන්නේ අපගේ භාෂාවන් ය. බුද්ධකාලීන උත්තර භාරතයේ සිට සිංහලයා ලක්දිවට පැමිණ ශිෂ්ටාචාරය ඉදි කළ බව ද එයින් තහවුරු වේ.

ඉන්දු ඉරාන පවුලේ එන සංස්කෘත බසෙහි අර මුල් වචනය එලෙස ම තිබීමෙන් පෙනී යන්නේ සංස්කෘත බස ඉපැරණි PIE බසට ඇති සමීපතාවය යි. අවේස්තාන් dantan, පර්සියානු dandân, හින්දි dā̃t. පැරණි ග්‍රීක odoús. එහි odóntos විභක්තියේ අර මුල් වචනය එලෙස ම තිබේ. නූතන ග්‍රීක dónti. කෙල්ටික් අත්තේ පැරණි අයිරිෂ් dét, වෙල්ෂ් dant, බ්‍රේටොන් dant, පැරණි ස්කොටිෂ් ගැලික් deud. තවත් ඉන්දු යුරෝපියානු භාෂාවන්හි මෙවැනි තවත් සජාතීය පද තිබේ.

“දළදා” වචනය හැදෙන “දාඨා” ගැන ඊළඟ ලිපියෙන්.

මෙම විස්තරයේ දෝෂ ඇත්නම් ක්ෂමා කොට පෙන්වා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. 

ධර්මය අපට මග වේවා!

එරන්ද ගිනිගේ
2025 මාර්තු 13 

මූලාශ්‍ර:

Mallory, J.P. and Adams, D.Q. The Oxford Introduction to Proto-Indo-European and the Proto-Indo-European World.

Monier-Williams, Monier. A Sanskrit-English Dictionary.

Bartholomae, Christian. Altiranisches Wörterbuch.

Steingass, Francis. A Comprehensive Persian-English Dictionary.

Platts, John T. A Dictionary of Urdu, Classical Hindi, and English.

Liddell, Henry George, and Scott, Robert. A Greek-English Lexicon.

Lewis, Charlton T., and Short, Charles. A Latin Dictionary.

Wright, Joseph. A Grammar of the Gothic Language.

Old English Wordhord

Online Etymology Dictionary

මඩිතියවෙල සිරි සුමංගල, පාලි සිංහල ශබ්දකෝෂය

බුද්ධ ජයන්ති තිපිටක ග්‍රන්ථ මාලාව

ජනප්‍රිය ලිපි

ගෝඨාභය සහ බැසිල්

දඩයක්කරුවා දඩයම වීම

ප්‍රභූන්ගේ කවටයා