රාජපක්ෂ නැගිටීම
දැන් ලංකාවේ නිල නොලත් විපක්ෂ නායකයා නාමල් රාජපක්ෂ ය. අනුර කුමාර ඇතුළු ආණ්ඩුව අසාමාන්‍ය ලෙස පහර දෙන්නේ මහින්ද සහ නාමල් ට මිස සජිත් ට නොවේ. මහින්දගේ නිල නිවස සහ ආරක්ෂාව අල්ලා ගෙන රටේ ජනාධිපති ම ආවේගයෙන් පහර දීම අසාමාන්‍ය නොවේ ද? ව්‍යවහාර බසින් කිව හොත් “ඕවර් ඇක්ටින්” නොවේ ද? දැන් ලංකාවේ ජනමාධ්‍යය තුළ වැඩිපුරම කථා වෙන්නේ රාජපක්ෂලා ගැන ය. ඕනෑම ප්‍රවෘත්තියක් අවසන් වන්නේ රාජපක්ෂලා ගෙනි. ඒ ඇයි?
ඕනෑම අයෙකු ඕනෑම තැනකින් ඉවත් කළ යුතු නම් කළ යුත්තේ ඔහු/ඇය පිළිබඳව වචනයක් හෝ කථා නොකර සිටීම ය. දේශපාලනයේ දී එය ඉතා ප්‍රබල උපක්‍රමයකි. රාජපක්ෂලා සැබැවින්ම ජන විඥානයෙන් විතැන් වෙමින් තිබිණි. ජනපතිවරණ සමයේ අපට තිබුණු ලොකුම ගැටලුව නාමල් ගැන මාධ්‍ය තුළ කථා නොකිරීම යි. නමුත් අනුර කුමාරගේ සූක්ෂ්ම මෙහෙයුමෙන් නැවතත් රාජපක්ෂලා කරළියට ගෙනැවිත් තිබේ. එය පැහැදිලිව ම සැලසුමකි.
අනුර කුමාරට ඇති සැබෑ අභියෝගය සමගි ජන බලවේගය යි. හරිනි ප්‍රමුඛ කොළඹ ප්‍රභූ ධනේශ්වර පිල ඉදිරියේ දී සජබ හා එකතු වුවහොත් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බලය අහිමි වේ. නලින් හේවගේ වැනි ජවිපෙ නූගත් ගංකබරයන්ට එරෙහිව ආචාර්ය කෞෂල්‍යලා යුධ ප්‍රකාශ කරමින් සජබ යේ කුලීන කවිරත්නලා වෙනුවෙන් සටන් කරන්නේ අහම්බයෙන් නොවේ. එය අනතුරු හැඟවීමක් බව දේශපාලනය කියවන්නෝ දනිති. කොටින්ම මාලිමාණ්ඩුවේ ප්ලග් එක තියෙන්නේ හරිනි අතේ බව අනුර දනී.
දේශපාලනය යනු චෙස් ක්‍රීඩාවකි. එහිදී ඉත්තන් අදින්නේ ඒ මොහොතේ තත්ත්වයන් අනුව නොවේ. අනාගතයේ ඇති වන තත්ත්වයන් අනුව ය. ඊළඟට රටේ ඇතිවීමට නියමිත බරපතල තත්ත්වයන් තුළ ආණ්ඩු බලය සජබ වෙත යාම වැළැක්විය හැක්කේ රාජපක්ෂලා නැවත බලගැන්වීම හරහා පමණක් බව අනුර දනී.
නාමල් පොහොට්ටුවේ ජාතික සංවිධායක කළේ අනාගතය ගැන සිතා ය. ඒ තීරණය හිතුවාටත් අධික ව ඵල දැරුවේ ය. පොදුජන පෙරමුණේ සිටි මළ භාර (Dead Weight) සහ පිළිල ටික ඉවත් කර ගැනීමට ඉන් අපට හැකි විය. දැන් ඉන්නේ අලුත් කණ්ඩායමකි. සැබැවින් ම ලංකාවේ තරුණ ම සහ සාපේක්ෂ ව පිරිසිදු ම දේශපාලන ව්‍යාපාරය දැන් හැදෙමින් තිබෙන්නේ නාමල්ගේ නායකත්වය යටතේ ය. මෙය අහම්බයක් නොවේ. පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨ නායකයන් විසින් සිතාමතා කළ මෙහෙයුමකි.
දේශපාලනය ගැන නොදත් සාතිශය බහුතරයක් වැසියන් ට මේ සැලසුම් වැටහෙන්නේ නැත. ඔවුන් හිතන්නේ අනුර විසින් රාජපක්ෂලා ඉලක්ක කර පහර දීම රාජපක්ෂලා වලට යැවීමට කරන දෙයක් ලෙස ය. නමුත් සැබැවින් ම වෙන්නේ එයට ප්‍රතිවිරුද්ධ දෙය යි. නාමල් සිර භාරය ට ගත හොත් එය නාමල් ට කළ හැකි විශාලත ම උපකාරය යි. දැන් නැවතත් රාජපක්ෂලා නැගිටිමින් සිටී. එයින් අනුර කුමාර ට ලැබෙන මානසික අස්වැසිල්ල සුළුපටු නොවේ. දිස් ඉස් පොලිටික්ස්.
එරන්ද ගිනිගේ
2025 පෙබරවාරි 26
