අපරාධ සංස්කෘතිය
කොටහේනේ ඝාතනය සිදු කළේ යැයි කියන පුද්ගලයන් දෙදෙනෙකු අල්වා දෑත දෙපය බැඳ පහර දෙන වීඩියෝවක් සංසරණය වේ. ඒ දුටු මට මතක් වූයේ කළු මැයි 9 වැනිදා ම්ලේච්ඡ අරගලකාරයන් විසින් පොහොට්ටුවේ මිනිසුන්ට මහමග පහර දුන් ආකාරය සිරස සහ අනෙකුත් චැනල් ලයිව් දීමයි. එදා එම සාහසික පහර දීම් සිදු කළ උන් සහ ඒවාට හුරේ දමමින් share කළ උන් අද කොටහේනේ පහර කෑ පුද්ගලයන්ගේ අයිතිය වෙනුවෙන් කථා කරනු පෙනේ. ඒ දිව දෙකේ මිනිසුන්ය.
කොටහේනේ ඝාතනය සැබැවින්ම කළේ එම පුද්ගලයන් දෙදෙනාද කියා මා දන්නේ නැත. දැන් එය දැන ගැනීමට ක්‍රමයක්ද නැත. ඒ ඔවුන් පොලිස් වෙඩි පහරින් ඝාතනය කර ඇති බැවිනි. එසේ ඝාතනය කළේද අර වීඩියෝවේ සිටින අයමද කියා නිසැකවම දන්නේද නැත. අපරාධයක වැරදිකරුවන් විනිශ්චය කළ යුත්තේ අධිකරණයෙන් මිස හන්දියේ චණ්ඩි නොවේ. නමුත් NPP ය බලයට එන්නේ අධිකරණ බලය ගමට දෙනවා කියා ගෙනය. නූගත් 68 ලක්ෂයක් ඡන්දය දුන්නේ ඒ සඳහාය.
ජවිපෙ විසින් දියත් කළ 88-89 සන්නද්ධ අරගලයේ පසුකම්පන තුළ මෙරට බිහිසුණු පාතාලයක් නිර්මාණය විය. නීතියේ ආධිපත්‍යය මෙන්ම සමාජ සාරධර්ම බිඳ වැටුණු විට එහි වැළැක්විය නොහැකි ඊළඟ අදියර අපරාධ සංස්කෘතියයි. 90 දශකය පුරා හොල්මන් කළ එම අපරාධ සංස්කෘතිය බොහෝ දුරට බිඳ වැටෙන්නේ 2009 යුද්ධයේ අවසානයෙන් පසුවය.
2022 ඊනියා අරගලය හරහා සිද්ධ කළේද 88-89 යේ කළ දේමය. සමාජයේ මානුෂීය හර පද්ධතිය ඉතා සීමිත කාලයක් තුළ කුඩු පට්ටම් කිරීමයි. නිර්මාල් දේවසිරිගේ වචනයෙන් “ව්‍යවස්ථා උල්ලංඝනයයි”. තමන්ගේ අසල්වැසියාගේ නිවස ගිනි තබන, තමන්ගේ පාසලේ පන්තියේ සගයාගේ පොත් ගිනි තබන, තමන්ට උදව් උපකාර කළ ව්‍යාපාරිකයාගේ වාහන කුඩු කරන ම්ලේච්ඡ සමාජයක් නිර්මාණය කිරීමයි. එයින් පසු එන්නේ කුමක්ද? එයින් පසු එන්නේ අර 90 දශකයේ වැනි ගිනිඅවි සහ ගිනිකෙළි යුගයකි. දැන් අප ජීවත් වෙන්නේ එම යුගයේය.
කකුළුවා ඇදේට යමින් පැටවුන්ට කෙලින් යන්නට කීවාට වැඩක් නැත. අනුර කුමාර තවමත් කරන්නේ වෛරය වැපිරීමයි. එසේ කරමින් Clean Sri Lanka කරන්නට කීම විහිළුවකි. රාජ්‍ය නායකයා පළමුව සිතින්ද, වචනයෙන්ද කයින්ද සංවර විය යුතුය. යහපත් විය යුතුය. දියුණු විය යුතුය. රාජ්‍යයේ වැසියන් සංවර වන්නේත්, යහපත් වන්නේත්, දියුණු වන්නේත් එවිටය. රටේ නායකයා තුම්මුල්ලේ පද්මේ වගේ “හැප්පිලා බලමු…”, “වැඩිය කෑගැහුවොත් බලාගමු…”, “කෙඳිරි ගාන්න එපා…” වැනි අශිෂ්ට පාතාල වහසි කථා කී විට මුළු රටම පාතාලයක් වේ.
ලක් සමාජය වනාහි දැන් මළකුණක් වැනිය. එහි සාරධර්ම නමැති ජීවය නොමැත. ඇත්තේ කුණු වී ඕජස් ගලන මෘත කලේබරයකි. ජනාධිපති සහ ආණ්ඩුව කරන කියන කිසිවක් යාදෙන්නේ නැත. කරන කරන වැඩේ අසාර්ථක වේ. කියන කියන දේ විහිළුවක් වේ. මෙය අනුරගේ පමණක් නොව, අනුරලා විසින් මරා දමන ලද සමාජයේම ප්‍රතිඵලයකි. අද ඔබේ ජීවිතයට, ඔබේ දරුවාගේ ජිවිතයට වටිනාකමක් නැත. ගරුත්වයක් නැත. අනෙකා කෙරෙහි සහකම්පනයක් නැත. අද තරුණියන් “අපරාධකරුවා” කෙරෙහි කාම ආශාවෙන් දැවේ. අපරාධ සංස්කෘතිය යනු එයයි. අද පාතාලය යනු අරගලයේ ප්‍රතිවිපාකයයි. ධර්මය ඔබට මග වේවා!
