මීටරෙන් ඉන්න පුතා

සිහියෙන් කටයුතු කිරීමේ වැදගත්කම පේනවා නේද? තමන්ගේ කමිසයේ බොත්තම් ටික හරියට දාගන්න තරම් සිහියක් නැත්නම් ඔබට රාජ්‍යයක් පාලනය කරන්න කිසිසේත්ම බැහැ.



ඔන්න ඕක තමයි මිනිහෙකුට නිවැරදි ශික්ෂණයක් අවශ්‍යයි කියන්නේ. පාසල් යන කාලයේ මේ සිහියෙන් වැඩ කිරීම අපට උගන්වනවා. නිල ඇඳුම පිළිවෙලට අඳින්න උගන්වනවා. කොණ්ඩය පීරන්න උගන්වනවා. රැවුල කපන්න උගන්වනවා. දත් මැදලා නියපොතු කපලා නාලා පිරිසිදු වෙන හැටි උගන්වනවා. වැසිකිළියට ගිහිල්ලා හෝදලා වතුර යොදන හැටි උගන්වනවා. පන්තියක පිළිවෙලට වාඩි වෙලා ඉන්න උගන්වනවා. ගාණක් හදන කොට රචනාවක් ලියන කොට සිහියෙන් කරන හැටි උගන්වනවා. විනය කියන්නේ සිහියෙන් කටයුතු කිරීම. බාලදක්ෂ හෝ ශිෂ්‍යභට වගේ කටයුතු කළා නම් ඒවා තවත් හොඳට ලැබෙනවා. ක්‍රීඩාවක් කළා නම් ජයග්‍රහණයේදී සහ පරාජයේදී හැසිරිය යුතු ආකාරය ඉගෙන ගන්නවා.

මා මිත්‍ර මහේෂ් හපුගොඩ ලියලා තිබුණා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ඔහොම තමයි කියලා. ඒක ඉතාම ප්‍රතිගාමී නොදියුණු මධ්‍යමාන කථාවක්. ඇමරිකානු කළු මිනිසුන්ගේ සටනට නායකත්වය දුන්න මාර්ටින් ලූතර් කිංග් ෆුල් සූට් එක ඇන්දේ අකුරට පිළිවෙලට. යුද්ධයට යන සෙබළා නිල ඇඳුම අඳින්නේ ඉතාම පිළිවෙලට. මොකද තමන්ගේ ඇඳුමවත් හරියට ඇඳ ගන්න බැරි එකාට කිසිම සටනක් කරන්න බැහැ. ඒකම තමයි ලංකාවේ විශ්ව විද්‍යාලවලින් විශිෂ්ටයන් බිහි නොවෙන්නේ. මහේෂ් වගේ මධ්‍යමානව (mediocre) හිතන ආචාර්යවරුන් පාසලෙන් එන හැදිච්ච එකාවත් ගොබ්බයෙක් කරනවා. 

පාංශුකූල චීවරය පවා පිළිවෙලට අඳින්න බුදුන්වහන්සේ ඉගැන්නුවා. නිකම් රෙද්දක් පටලවා ගන්නවා නොවෙයි. කරන හැම දෙයක්ම සිහියෙන් කරන්න කියලයි උන්වහන්සේ දේශනා කළේ. "අප්පමාදෙන සම්පාදෙථ" කියන්නේ සිහියෙන් කටයුතු කරන්න යනුයි. අඩුම ගානේ අනුරලා පන්සලකට ගිහිල්ලා සිල් සමාදන් වුණා නම් ඔය සිහිය ටිකක් හැදෙනවා. එවැනි වතාවත් චාරිත්‍ර හදලා තියෙන්නේ ඔය නොදියුණු සිහි විකල් මිනිසාව දියුණු කරන්නයි.

අනුර කුමාරට සිහිය නැහැ. ඇවිදින්නේ කඩි කුලප්පුව හැදිලා වගේ. එහෙ බලනවා.. මෙහෙ බලනවා… උඩ බලනවා… විරිත්තනවා… පිළිවෙලකට අඳින්න දන්නේ නැහැ. කොණ්ඩයක් පීරන්නේ නැහැ. රැවුලක් කපන්නේ නැහැ. හරියට වාඩි වෙන්න දන්නේ නැහැ. මුහුණේ වෛරය වැක්කෙරෙනවා. හරිම කලබලයි. හිත චංචලයි. තමන්ට තමන්ගේ ශරීරයේ ඉරියව් පාලනය කරගන්න බැරි නම් තමන්ගේ මනස කිසිසේත්ම පාලනය කරගන්න බැහැ. සිත පාලනය කර ගැනීමට පෙර කය පාලනය කර ගත යුතුයි. 

නියම වාමාංශිකයා ලස්සනට පිළිවෙලට අඳින කෙනෙක්. තමන්ට තියෙන එකම ඇඳුම වුණත් හෝදලා අඳිනවා. කොණ්ඩය පීරනවා. අනුරට ඒ හික්මීම නැහැ. ඒක තමයි කියන්නේ පාසල් යන කාලයේ හරියට පාසල් යන්න ඕනා. විශ්ව විද්‍යාල යන කාලයේ හරියට ඒ වැඩේ කරන්න ඕනා. ආයතනයක රැකියාව කරන කාලයේ ඒ වැඩේ හරියට කරන්න ඕනා. දේශපාලනය කරන කොට ඒ වැඩේ හරියට කරන්න ඕනා. මැරෙන මොහොතේ පවා සිහියෙන් මැරෙන්න ඕනා. 

අනුරට විතරක් නෙවෙයි, මේ ආණ්ඩුවටම සිහියක් නැහැ. තමන් මේ මොහොතේ කරන්නේ මොනවද කියලා අවබෝධයක් නැහැ. ඔහේ මොනවා හරි කරනවා. කටට එන ඕන විකාරයක් කියනවා. දැක්කනෙ බලශක්ති ඇමතිගේ වඳුරු කථාව. අබේසිංහගේ පොල්සම්බෝල කථාව. හරිනිගේ චීන ජනරජ කථාව. තව උදාහරණ ඕනා තරම්. ඔවුන්ට ශික්ෂණයක් නැහැ. බාලයි. 

ඒ නිසා තමයි අපි කියන්නේ රටක් පාලනය කරන්න මිනිස්සු තෝරා ගන්න කොට මුලින්ම බලන්න ඒ මිනිහගේ ශික්ෂණය. හරියට අධ්‍යාපනයක් ලබා තිබෙනවද? හරියට රස්සාවක් කරලා තිබෙනවද? ඔහු/ඇය කියන දේ නිවැරදිද? සංගතද (Consistent)? එක වෙලාවක එකක්… තව වෙලාවක තව එකක් කියන මිනිහට සිහියක් නැහැ. ඕවා දැන් හදන්න අමාරුයි. පීඩනය වැඩි වෙන්න වැඩි වෙන්න සිහිය තවත් විකල් වෙනවා. 

මේ වගේම තමයි යුක්රේනයේ තිබුණු ආණ්ඩුව පෙරළලා ඇමරිකාව විසින් පත් කළ සෙලෙන්ස්කි. සිහි කල්පනාව නැති විහිළුකාරයෙක්. බක පණ්ඩිතයෙක්. අන්තිමට ඒ මිනිහා යුක්රේනය යුද්ධයෙන් විනාශම කළා. යුද්ධ කරන්න අනුරලා වගේ මධ්‍යමාන වැසියන්ට බැහැ. ඒක තමයි අවුරුදු 30 ක් තිස්සේ අපේ රටේ යුද්ධය ඉවර කරන්න බැරි වුණේ. යුද්ධයක් වුණත් කරන්න නම් ඉතාම හොඳ "සිහියක්" තිබෙන නායකයෙක් අවශ්‍යයි. ඒ අතින් මහින්ද රාජපක්ෂ කියන්නේ මම දැකපු සුපිරිම සිහියක් තිබෙන මිනිහෙක්. තමන්ගේ ඇඳුම ගැන වගේම මුහුණේ ඉරියව් ගැනත් මාර මීටරෙන් ඉන්න මිනිහෙක්. ඒ ගුණාංග නිසා තමයි ඔහුට ලංකාවේ සාර්ථකම ජනාධිපති වෙන්න පුළුවන් වුණේ.

අනුර කළ යුතු හොඳම දෙය තමයි කථා නොකර එළියට යන්නේ නැතුව ටිකක් සන්සුන්ව භාවනා කරලා සිත එකඟ කර ගැනීම. ඔය තමන් ළඟටම එවලා තියෙන ඇමරිකන් ඒජන්තලා හළලා, තමන් කළ යුතු දේ, නොකළ යුතු දේ, කිව යුතු දේ, නොකිව යුතු දේ ගැන සිහියෙන් විචාරයෙන් තමාම කල්පනා කරලා එය ධාරණය කර ගැනීම. ඒ අනුව සෑම අවස්ථාවකම කටයුතු කිරීම. අනුර ඔබ දැන් නවතින්න. ධර්මය ඔබට මග වේවා!

ජනප්‍රිය ලිපි

ගෝඨාභය සහ බැසිල්

දඩයක්කරුවා දඩයම වීම

ප්‍රභූන්ගේ කවටයා