අලුත් ගැලවුම්කාරයෙක්



දෙමළ ජනතාවට නව ගැලවුම්කරුවෙකු ලැබී තිබේ. මෙතෙක් කාලයක් දෙමළ ජනතාවගේ නීත්‍යනුකූල ගැලවුම්කාරයා ලෙස ඔවුන් පිළිගත්තේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ය. මහාවීර් ලෙස ඔවුන් සැබැවින්ම සමරන්නේ ඔවුන්ගේ ගැලවුම්කාරයාය. නමුත් ජාතික ජන බලවේගය හුවා දක්වන ආකාරයට කොටි නායකයා පරයා අනුර කුමාර දිසානායක අද එම ස්ථානය ගෙන තිබේ. වෙනත් වචනයෙන් කිවහොත් දෙමළ ජනතාවගේ ගැලවුම්කාරයා බවට නොදෙමළෙකු පත්ව තිබේ. මෙය අතිශය සිත් ගන්නා සුලු තත්ත්වයකි.

විය හැකි තත්ත්වයන් දෙකකි:

  1. දෙමළ ජනතාව විසින් අනුර කුමාරව ගොනාට අන්දවා තමන්ගේ දේශපාලන අරමුණ සාක්ෂාත් කරගැනීම; 
  2. දෙමළ ජනතාව විසින් සත්‍ය වශයෙන්ම අනුර කුමාර සිය ගැලවුම්කාරයා ලෙස පිළිගැනීම. 

NPP ය විසින් පළමුවැන්න ප්‍රතික්ෂේප කරයි. එසේ නම් ඔවුන්ට අනුව විය හැක්කේ දෙවැන්නයි. එසේ නම් සිදුව ඇත්තේ දෙමළ ජාතිවාදය නැවත වාරයක් පරාජය වීමයි. එක්තරා ආකාරයකට එය යුධ පරාජය වැනිම දරුණු පරාජයකි. යුද්ධයෙන් පසුවත් දෙමළ ජනතාවගේ ගැලවුම්කාරයා ලෙස සැලකුණේ ප්‍රභාකරන්ය. නමුත් දැන් එම ස්ථානය දෙමළ නොවන අයෙකු විසින් ඩැහැ ගෙන තිබේ. මෙය සාහසික මානසික ආක්‍රමණයකි.

යාපනයේ පිහිටි ජනාධිපති නිල නිවස දෙමළ ජනතාවට දෙන්නේ අනුර කුමාරය. එය දෙමළ ජනතාව විසින් දිනා ගත් දෙයක් නොවේ. අනුර කුමාර එහිදී පෙන්වන්නේ එය ඔහුට කිසිම වැඩක් නැති අනවශ්‍ය දෙයක් බැවින් අද පටන් එය ඔවුන්ට දෙන දෙයක් ලෙසය. එය අතිශය සියුම් මානසික යටත් කිරීමකි. වහල් හිමියා විසින් තමන්ට අනවශ්‍ය දේ වහලාට සන්තෝසම් ලෙස දී තමන්ගේ ආධිපත්‍ය තහවුරු කිරීම වැනිය.
මෙය සමස්ත දෙමළ ජාතික ව්‍යාපාරයම හෑල්ලු කිරීමකි.
ගාමිණි අභය රජු විසින් එළාර රජු මරා දැම්මාට පසුව ස්මාරකයක් හදන්නේ ඇයි? එයින් කරන්නේ දෙමළ ජනතාවගේ ජාතික නායකත්වය තමා වෙත ආරෝපණය වීම වැළැක්වීමයි. මහින්ද රාජපක්ෂ යුද්ධය අවසාන කිරීමෙන් වහාම අනතුරුව උතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්වූයේ එවැනි අරමුණකින් බව මාගේ විශ්වාසයයි. එය පරදින බව ඔහු දැන සිටියේය. ඔහුට සැබැවින්ම එය දිනීමට අවශ්‍ය වුණා යයි මම නොසිතමි. ඔහුට අවශ්‍ය වූයේ උතුරේ දෙමළ ජනතාවට අනන්‍ය නමුත් නීත්‍යනුකූල නායකත්වයක් නිර්මාණය කර ගැනීමට ඔවුන්ට අවස්ථාව දීමය. ඔහු පසුව දෙමළෙන් කතා කිරීම වැනි දෙයට ගොස් වැඩේ අනා ගත්තේය.
පරාජිතයා හට කළ හැකි නරකම දෙය වන්නේ ඔවුන්ගේ අනන්‍යතාවය උදුරා ගැනීමයි. 
අනුර කරමින් ඉන්නේ එයයි. දෙමළ ජාතික අනන්‍යතාවය ඔහුගේ අත යටට ගැනීමයි. නූගත් මෝඩ බයියන් රවටා ගැනීම පහසුය. නමුත් ජාතික සටනක් කළ දෙමළුන් පවා රවටා ගැනීම නම් සුවිශේෂී හැකියාවකි. මෙය හරියට ඇමරිකාවේ කළු ජාතිකයන්ගේ ගැලවුම්කාරයා වන මාටින් ලූතර් කිංග් වෙනුවට ඩොනල්ඩ් ට්‍රම්ප් අතිපිහිත කිරීම වැනි අනන්‍යතා හරණයකි.

ජාතික ජන බලවේගය විසින් උතුරේ මෙන්ම කඳුකරයේද දෙමළ වැසියන්ගේ දේශපාලන අනන්‍යතාවය උදුරා ගත්තේය. ඔවුන්ගේ සමාජ-සංස්කෘතික නියෝජකයන් හොරුන් තක්කඩින් ලෙස වර නගා ඔවුන්ගේ ජනතාව විසින්ම පරාජයට පත් කළේය. එය එම දෙමළ වැසියන් ලද දැවැන්ත පරාජයකි. අනුරගේ උපක්‍රමයට තරමක් හෝ හසු නොවුණේ නැගෙනහිර මුස්ලිම් ජාතිකයන්ය. ඔවුන්ගේ ජාතිකාගමික අනන්‍යතාවය අන් අයට වඩා ශක්තිමත් වීම එයට හේතුව යැයි මම සිතමි.
මෙම දේශපාලන සෙල්ලමේ භයානකකම වන්නේ ඕනෑම ප්‍රජාවක ගැලවුම්කාරයා බවට පත්වන්නා අවසානයේ එම ප්‍රජාවෙන්ම මැරුම් කෑමයි. 
යුදෙව්වන්ගේ ආදර වැළඳ ගැනීම්වලින් උද්දාමයට පත් වූ ජේසුස් අවසානයේ ඔවුන්ගේ අතින් කුරුසයට ගියේය. ඉන්දියානුවන්ගේ ගැලවුම්කරුවා වූ මහත්මා ගාන්ධිට ඔවුන් වෙඩි තැබුවේය. එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායකට වූයේත් එයයි. විජේවීරව පාවා දුන්නෙත් ජවිපාවුන්මය. මහින්ද-ගෝඨාභය තවම පණ බේරාගෙන සිටියත් සිංහලයන් විසින්ම ඔවුන්ගේ ආරක්ෂාව ඉවත් කර තිබේ. දේශපාලනය කිරීමේදී ඔබ කිසිවෙකුගේ ගැලවුම්කරුවා බවට පත් නොවිය යුතුය. දිස් ඉස් පොලිටික්ස්.

ජනප්‍රිය ලිපි

ගෝඨාභය සහ බැසිල්

දඩයක්කරුවා දඩයම වීම

ප්‍රභූන්ගේ කවටයා