කෝටි 240 ආණ්ඩු පෙරළිය
ලංකාවේ මාධ්‍යකරුවන් ස්ත්‍රී හා පුරුෂ ලිංග පද භාවිතා නොකරවීම සඳහා ඩොලර් මිලියන 8 ක් හෙවත් රුපියල් කෝටි 240 ක අතිවිශාල මුදලක් කුප්‍රකට USAID ආයතනය විසින් වියදම් කර ඇති බව අලුතෙන් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩුව විසින් හෙළිදරව් කොට තිබේ. මේ දිනවල අන්තර්ජාතික ජනමාධ්‍යයේ ප්‍රධාන සිරස්තලය මෙයයි. මෙය ලංකාවේ ජනමාධ්‍ය පිළිබඳ බරපතල ප්‍රශ්න රාශියක් මතු කරයි. විශේෂයෙන්ම 2019 සිට හතු පිපෙන්නාක් මෙන් බිහි වූ සිංහල බෞද්ධ සංස්කෘතික විරෝධී යූටියුබ් මාධ්‍ය මාෆියාව මෙයින් පැහදිලි කළ හැකිය.
කුප්‍රකට මාධ්‍ය මුදලාලියෙකු වන දිලිත් ජයවීර නමැත්තා පසුගියදා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයකින් කියවුණේ ඔහුට අයිති “Pulse” (පලස්) නමැති මාධ්‍ය නාලිකාවේ මෙම ලිංග දිශානති හුටපටය ප්‍රවර්ධනය සඳහා අගමැති හරිනි අමරසූරියට අවස්ථාව දීම නිසා එය ඇයට හොඳ වූ බවය. Pulse යනු මෙරට සම, සංක්‍රාන්ති සහ වෙනත් ලිංගික අනන්‍යතාවයන් ප්‍රවර්ධනය කරන ප්‍රධාන වෙළඳ ව්‍යාපාරයකි. USAID ව්‍යාපෘතිය සහ දිලිත්ගේ ඉහත ජනමාධ්‍ය ව්‍යාපෘතිය අතර ඇති සමානත්වය අහම්බයක්ද? දෙරණ වැඩසටහන් සඳහා USAID ප්‍රධාන අනුග්‍රාහකත්වය සපයා තිබෙන්නේ කුමන අරමුණින්ද?
රටක ජනමාධ්‍ය යනු ස්වාධීනව පැවතිය යුතු ජනතා සේවයකි. ජනතාව අතර තොරතුරු සන්නිවේදනය ප්‍රධාන කොට ගුණාත්මක අධ්‍යාපනයක් සහ උසස් රසඥතාවයක් සැපයීම එහි වගකීමය. නමුත් අද වන විට ලංකාවේ පොදු දේපළක් වන සංඛ්‍යාත මුළුමනින්ම පාහේ නූගත් මුදලාලිලා විසින් ඔවුන්ගේ වල් උවමනා වෙනුවෙන් හිතුමතයට අවභාවිතා වෙන බව නොරහසකි. දැන් ඒ මදිවාට ඇමරිකානු දේශපාලන උවමනාවන් සඳහාත් ඒවා විකිණී ඇති බව මෙයින් තහවුරු වේ. මෙය ජනරජයේ ස්වාධීනත්වයම උල්ලංඝනය කිරීමකි.
අනන්‍ය සංස්කෘතියක භාෂාව භාවිතා කළ යුතු සහ නොකළ යුතු ආකාරය තීරණය කළ යුත්තේ එම සමාජය විසිනි. භාෂණයේ නිදහස වෙනුවෙන් සටන් කරන ඊලෝන් මස්ක් පවසන ආකාරයට “සාපරාධී සංවිධානයක්” වන USAID විසින් ලාංකීය ජනසමාජයේ “භාෂාව හැසිරවීම” සඳහා කෝටි ගණනක් මුදල් යෙදවීම සැබැවින්ම අපරාධයකි. සංස්කෘතික අපයෝජනයකි.
එපමණක් නොව, ලිංග භේද පද භාවිතය වැනි කාරණයක් අරබයා කෝටි 240 ක් වැනි විශාල මුදලක් වියදම් කළේ නම්, ලංකාවේ වෙනත් දේශපාලන කාරණා සඳහා ඔවුන් කෙතරම් මුදලක් වියදම් කරන්නට ඇතිද? උදාහරණයක් ලෙස 2022 රෙජීම් චේන්ජ් ව්‍යාපෘතිය හෙවත් අරගලය සඳහා ජූලි චන්ග් ප්‍රමුඛ ඇමරිකානු අපරාධ කල්ලිය කෙතරම් මුදලක් වියදම් කර තිබේද? එම ඩොලර් පැමිණියේ කා හරහාද? එම ඩොලර් ගියේ කා වෙතද? ඒවායින් කළේ මොනවාද? ප්‍රජාතාන්ත්‍රිකව තෝරා ගත් ජනපති සහ ආණ්ඩුවට එරෙහිව දියත් කළ ව්‍යවස්ථා විරෝධී සාහසික මර්දනයට දායක වූ පෞද්ගලික මාධ්‍ය ආයතන වෙත එම මුදල් ලැබුණේද? මේ සියලු ප්‍රශ්න අද ජනතාව හමුවේ ඇත.
සිංහල බෞද්ධ ජාතිකවාදය විකුණමින් පාර්ලිමේන්තුවට පැන ගත් මුදලාලිලාගේ සැබෑ කෙරුවාව මෙයින් පෙනේ. ඔහු සමග ළගින ඊනියා සිංහල ජාතිකවාදීන්ගෙන් අප අසන්නේ හැබෑටම නුඹලාට හිරිකිතයක් නැතිද? කියාය. සිංහල ඉතිහාසය, බෞද්ධ සංස්කෘතිය, සභ්‍යත්වය ගැන කියවන එහි මාධ්‍යකාරයන්ගෙන් අප අසන්නේ නුඹලාට හෘදය සාක්ෂියක නාමයක් හෝ නැතිද? කියාය. ගෝඨාභයව පවා රැවටුවත් අපව නම් රැවටිය නොහැකිය. ඩොලර්වලට සිය වෘත්තිය විකුණන ජඩ මාධ්‍යකරුවන්ට ලක් සමාජය විසින් දී ඇති අනිසි අගය වහාම අත්හළ යුතුය.
දැනට හෙළිදරව් වී ඇති ඩොලර් මිලියන 8 ක ජනමාධ්‍ය සහ භාෂා ආක්‍රමණය පිළිබඳව වහාම පූර්ණ විමර්ශනයක් කළ යුතුය. විදෙස් බලපෑම්වලට එරෙහිව බලයට පත් අනුර කුමාරගේ ආණ්ඩුව මෙය බරපතලව ගත යුතුය. මෙයට අමතරව USAID විසින් ලංකාවේ කර ඇති බලහත්කාරකම් සියල්ලම සොයා ජනතාවට හෙළි කළ යුතුය. ධර්මය ඔබට මග වේවා!

