අලුත් ව්‍යවස්ථාවට සැරසෙනු


අද ඔබ අත්විඳින සමාජ ආර්ථික ගැටලු බොහෝමයක් අනුරට සහ ඔහුගේ 2/3 NPP ආණ්ඩුවට අවශ්‍ය නම් පැය 24 න් විසඳිය හැකිය. සැබැවින්ම එක පෑන් පහරින් විසඳිය හැකිය. නමුත් ඔවුන් එහෙම කරන්නේ නැත. තමන්ට ඡන්දය දුන් ජනතාව කලකිරෙන බව දැන දැනම ඔවුන් කිසිදු ප්‍රශ්නයක් විසඳන්නේ නැත. ඒ වෙනුවට එම ප්‍රශ්න හාර හාර විස කව කව තව තවත් වණ කරමින් තිබෙනවා නේද? ඒ ඇයි?

අනුර කුමාරව පත් කරගත්තේ හාල් පොල් සීනි තෙල් විදුලිය පොහොර ආදියේ මිල අඩු කර ගැනීමට නොවේ. අනුරව ජනාධිපති කර පාර්ලිමේන්තුවේ 2/3 ට වඩා බලයක් දුන්නේ එකම එක දෙයකටය. එනම් “අසම්මත ව්‍යවස්ථාවක්” සම්මත කර ගැනීමටය. ඔබට එය නොවැටහේ නම් ඔබ දේශපාලනය ගැන කතා කිරීම පවා කාලය නාස්තියකි. ඔබේ මොළයට එය වැටහුනත්, ඔබේ හිත එය පිළිගැනීමට අකමැති නම් ඔබ බොළඳ දුර්වලයෙකි. 
රට අනුරට දුන්නේ හදන්නට නොවේ. රට කඩන්නටය. දැන් කරමින් තිබෙන්නේ එයයි.
අලුතෙන් ව්‍යවස්ථාවක් ගෙන ඒමට නම් ප්‍රශ්න විසඳීම නොකළ යුතුය. ප්‍රශ්න විසඳුනු පසු ජනතාවට වෙනසක් අවශ්‍ය නොවේ. අලුතෙන් ව්‍යවස්ථාවක් ගෙන ඒමට නම් ජනතාවට ප්‍රශ්නවලින් තව තවත් බැට දිය යුතුය. හැකි නම් මේ මාසයේ නැවතත් තෙල් මිල වැඩි කළ යුතුය. විදුලි බිල තවත් වැඩි කළ යුතුය. බදු තවත් වැඩි කළ යුතුය. ඊනියා අරගලය දක්වා ගෙන ගියාක් මෙන් ජනතාවට කෘත්‍රිමව පීඩා ඇති කළ යුතුය. අන්න එතකොට ඒ සියල්ලටම විසඳුම ලෙස “අලුත් ව්‍යවස්ථාව” ගෙන ආ හැකිය. (අරගලය හරහා IMF එක ගෙනාවේ එහෙමය.)

තව ටික දිනකින් ඔබට අසන්නට ලැබෙන ප්‍රොපගැන්ඩාව වන්නේ “මේ ඔක්කෝටම මුල ජේ ආර්ගේ ව්‍යවස්ථාවය. අනුරට රට හදන්න බැරි 78 ව්‍යවස්ථාව නිසාය. අලුත් ව්‍යවස්ථාවක් හදලා දුන්නොත් විතරයි රට හදන්න පුළුවන්ය,” යන කැම්පේන් එකය. සැබැවින්ම ආණ්ඩුවේ දුර්වලතාවයන් පෙන්වන විපක්ෂය පවා දැන හෝ නොදැන කරන්නේ එම කැම්පේන් එකේම කොටසකි. ආණ්ඩුව දුර්වල නැත. ආණ්ඩුව කරන සියල්ල කරන්නේ අලුත් ව්‍යවස්ථාව ඉලක්ක කර ගෙනය.


විශේෂයෙන්ම දිලිත් ජයවීර මෙම කැම්පේන් එකේ ප්‍රධාන චරිතයක් රඟ දක්වයි. ඔහුගේ කාර්යය වන්නේ ඊනියා ජාතික කඳවුර හෙවත් මෙරට ඓතිහාසික බෞද්ධ සිංහල බලවේගය දෙකඩ තෙකඩ කර තබා ගැනීමයි. අලුත් ව්‍යවස්ථාවට එරෙහි වන්නට ඉන්නේ එම කඳවුර පමණී. දිලිත් ජයවීර යනු කිසිසේත්ම බෞද්ධ සිංහල නායකයෙකු නොවේ. ඔහුගේම වචනවලින් ඔහුගේ එක චැනල් එකකින් හරිනි අමරසූරියට ඊනියා ලිංගික දිශානති ප්‍රවර්ධනය කරන්න දෙන ගමන් අනෙක් චැනල් එකෙන් ආණ්ඩුව විවේචනය කරයි. එයින් අදහස් වන්නේ ඔහුගේ ඇති දෙබිඩි ස්වභාවය නොවේද? නිශ්චිත ප්‍රතිපත්තියක් තියෙන මිනිහෙකු එවැනි දෙපිටකාට්ටු වැඩ කරන්නේ නැත.

අනෙක් පැත්තෙන් අපේ කඳවුර එක්සත් කිරීමට හැකි වැඩපිළිවෙළක් පොදුජන පෙරමුණ නායකයන්ටද නැත. ඒ සඳහා අපට හිටිය දක්ෂතම මිනිසා මහින්ද රාජපක්ෂ හට තවදුරටත් ඒ සඳහා අවශ්‍ය කායික ශක්තිය නැත. ඉන් පසුව අපට හිටිය දක්ෂයා ගෝඨාභය රාජපක්ෂ කලකිරීමෙන් සියල්ල අත්හැර දමා ධර්ම මාර්ගයට යොමුව ඇත. නාමල් රාජපක්ෂට තවම නිශ්චිත දැක්මක්, වැඩපිළිවෙළක් හෝ පරිණත කණ්ඩායමක් නැත. කොටින්ම අලුතෙන් ව්‍යවස්ථාවක් ගෙන ඒම වැළැක්විය නොහැකි තැනට දැන් අප පැමිණ තිබේ.


මෙයට විකල්ප නායකත්වයක් දිය හැකිව තිබූ සරත් ෆොන්සේකා සහ චම්පක රණවක වැන්නවුන් පසුව සිය බෞද්ධ සිංහල පදනම විනාශ කර ගත්තේය.  විමල් වීරවංශ සහ ගම්මන්පිල වැන්නවුන්ට වේදිකාවේ කතාවෙන් එහාට දෙයක් කළ නොහැකි බව ඔප්පු වී තිබේ. ඒ ඔවුන් සියලු දෙනාගේ අහස උසට ඇති පුහු අහංකාරය සහ ක්ෂණික කෝපය නිසාය. ඒ කිසිවෙකුට මෙම කඳවුර එකතු කිරීමට දැන් නොහැකිය.

අලුතෙන් එන ව්‍යවස්ථාව දැනටමත් පිටරටකින් කෙටුම්පත් කර ඇතැයි සිතීම ප්‍රායෝගිකය. එහි ප්‍රධාන කරුණු තුනක් පිළිබඳව අපට නිසැකව කිව හැකිය. 
  1. බුද්ධ ධර්මයට දී ඇති ප්‍රමුඛස්ථානය අහෝසි කිරීම
  2. ෆෙඩරල් රාජ්‍යයක් හැදීම
  3. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම යන කාරණා එහි මූලික පදනම වනු ඇත. 
ආඳා යවා තබාලා වල්පත අතට ගෙන ඵලක් නැත. දැන් සිද්ධ වෙමින් තිබෙන සියල්ල වෙන්නේ එක ඉලක්කයකටය. ඔබ කරන්නේ ඔවුන්ගේ ප්‍රයෝගවලට හසුව දවස ගෙවා දැමීම පමණී. ධර්මය ඔබට මග වේවා!

Comments

ජනප්‍රිය ලිපි

ගෝඨාභය සහ බැසිල්

දඩයක්කරුවා දඩයම වීම

ප්‍රභූන්ගේ කවටයා