කලීන් ශ්‍රී ලංකා


Clean යන වචනයට ආසන්නතම සිංහල වචනය “කලණ” යන්නයි. සංස්කෘත සහ මාගධී වචනය “කල්‍යාණ”ය. එහි අර්ථය අපද්‍රව්‍යයෙන් තොර වැන්නකි. කෙලෙස් මළ රහිත, යහපත්, උතුම්, කුසල යන අර්ථ එයින් ගම්‍ය වේ. පාපයට විරුද්ධ පදයකි කල්‍යාණ. ජනපති අනුර කුමාර ඊයේ දියත් කළ Clean Sri Lanka වැඩසටහන එම මුල් අර්ථයෙන් ගත් කල ඉතාම හොඳ ව්‍යායාමයකි.

ජවිපෙ විසින් දශක ගණනාවක් තිස්සේ රැස් කර ගත් රාග ද්වේශ මෝහ ක්ලේශයන්ගෙන් මිදී “clean” වීමට ඔවුන්ට අවශ්‍ය වී තිබීමම යහපත්ය. ප්‍රාණ ඝාත ඇතුළු අහස පොළොව නුහුළන මහා පව් කඳක් රැස් කළවුන් එම පවින් මිදීමට උත්සාහ ගැනීම අපගේ ප්‍රශංසාවට හේතු වේ. ලංකාවේ කරන තරමක් සමාජ පාරිසරික ආර්ථික දූෂණ වංචා කරන අපවිත්‍ර අපිරිසිදු අශිෂ්ට ව්‍යාපාර චෞරයන් සමග එකටම එම පාපයන්ගෙන් ශුද්ධ පවිත්‍ර වී Clean වීම තමාටත් සමාජයටත් හිතකරය. 

ලංකාවේ දරුවන්ට වස දියර පොවා මුදල් රැස් කළ පාපයෙන්ද අහිංසක සතුන් පණ පිටින් තම්බා වධ දී මරා විකුණා මුදල් රැස් කරන පාපයෙන්ද, පරදාර සේවනයෙන් රැස් කළ පාපයෙන්ද මිදී තමාව clean කර ගැනීමට අනුර කුමාර සමග එකතු වීම, එම අපිරිසිදු සෙල්ලම්කරුවන්ගේ සසර ගමන කෙටි කර ගැනීමට හේතු වනු ඇත. 

විශේෂයෙන්ම ලංකාවේ සමාජ මාධ්‍ය තුළ ද්වේශය වැඩියෙන්ම වපුරන, බොරුව වැඩියෙන්ම වපුරන, “කුණු”හරුප වැඩියෙන්ම කියන ජාතික ජන බලවේගයේ ඡන්ද දායකයන් එම වාචික අකුසලයෙන් මුදවා සදාචාර සම්පන්න හෙවත් clean කිරීමට අනුර කුමාර ගන්නා උත්සාහය ඉතා වටී. ඒ සඳහා යූටියුබ් අවකාශයේ වැඩියෙන්ම කුණුහරුප කියන පුද්ගලයාවම එකඟ කරවා ගැනීම හොඳ උපක්‍රමයකි.

නිර්දෝෂී පුද්ගලයන්ට අසත්‍ය චෝදනා කරමින්, නින්දා අපහාස කරමින් ජීවිත කාලයේම මුසාවාද සහ සම්පප්‍රලාප කියූ නූගත් අවිද්‍යාත්මක අශ්ලීල ජවිපෙ මැති ඇමතිවරුන්ද එම බලවත් අකුසලයෙන් clean වී පාරිශුද්ධ වීමට කල්පනා කිරීම අපට සතුටකි. 

අනුන්ව clean කිරීමට පෙර තමන් clean වී සිටිය යුතු බව අවබෝධ කර ගත් අනුර කුමාර ජනපතිගේ උත්සාහයට අපගේ ආශීර්වාදය! ධර්මය ඔබට මග වේවා!


ජනප්‍රිය ලිපි

ගෝඨාභය සහ බැසිල්

දඩයක්කරුවා දඩයම වීම

ප්‍රභූන්ගේ කවටයා