අලුත් හොරු අවශ්‍යයි

රාජපක්ෂලා බලයේ හිටියා නම් අනුර කුමාර මෙලහකට රාජපක්ෂලා සොරා කෑ පොල් ගෙඩි ප්‍රමාණය දශමයට ගණන් හදා වේදිකාවේ කියන්නේය. බුරම්පි මාමලාගේ නාමල් කරුණාරත්න පොල් කුඩු කටේ දමාගෙන පොල් වතුර ඔළුවේ හලාගෙන මාධ්‍ය සාකච්ඡා තියන්නේය. උගන්ඩා නිලන්ති මෙලහකට රාජපක්ෂලා පොල් ලෙලි ගසා පටවා ගෙන ගිය හැටි අවබෝධයෙන් කියන්නාය. ඩේටා සයන්ටිස්ට් චතුරංග අබේසිංහ මෙලහකට ලංකාවේ පොල් ගස් ගණන, ගසක හැදෙන කුරුම්බැට්ටි ගණන, පොල් ගෙඩියේ විෂ්කම්භය ඇතුළු සියලු දත්ත සිය බිස්සට දමා සොලවා රාජපක්ෂලා කෑ පොල් ප්‍රමාණය බුග් ගා කියන්නේය. 

නමුත් දැන් තව දුරටත් රාජපක්ෂලාට හොරා කියා බනින්නට නොහැක. මන්ද, නූගත්ම ගොඩේ බයියන් සහ වෛරීම ජෙප්පන් හැරෙන්නට වෙන කිසිවෙක් දැන් එය පිළිගන්නේ නැති නිසාය. එබැවින් දැන් අලුත් හොරු අවශ්‍ය කර තිබේ. ඒ සඳහා දැන් ආචාර්ය හාන්ස් විජේසූරිය උපදෙස් දෙන අතිගරු අනුර කුමාරගේ උගත් බුද්ධිමත් ආණ්ඩුව විසින් තෝරා ගෙන ඇත්තේ අනේ අර අහිංසක වන සතුන්ය.

දැන් ලංකාවේ සියලු ප්‍රශ්නවලට වැරදි අහිංසක රිළවුන්ය. අලි ඇතුන්ය. වල් ඌරන්ය. දඬු ලේනුන්ය. කුරුල්ලන්ය. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොස් දඩමස් උයා කන හැටි ගැන ඉගැන්වූ මෝල් ද ලාල්කාන්ත උත්තරීතර පාර්ලිමේන්තුවේ සිට ගොවියන්ට කියන්නේ තමන්ගේ වත්තට එන ඕනෑම සතෙකුට ඕනෑම දෙයක් කිරීමට තමන් අවසර දෙන බවයි. වනසතුන්ගෙන් වගාවන් ආරක්ෂා කර ගැනීමට “ජීව විද්‍යාත්මක විසඳුමක්” දෙන බවට සිය පරිසර ප්‍රතිපත්තියේ ලියා ඇති උන්ගේ මහලොකු කෙරුවාව මෙයයි.

අඩුම තරමින් රාජපක්ෂලාට හොරා කියා බොරු චෝදනා කළ විට එයට පිළිතුරු දෙන්නට අවස්ථාවක් තිබේ. බොරු නඩු දමා අල්ලා ගෙන ගොස් නඩුකාරයා ඉදිරියට දැමූ පසු තමන්ගේ නිර්දෝෂීභාවය වෙනුවෙන් කතා කරන්නට අවස්ථාවක් තිබේ. නමුත් අනේ අර අහිංසක සත්තුන්ට මේ අවනඩුව කියන්නට උසාවියක් නැත. අවස්ථාවක් නොදීම උන්ව වරදකරුවන් කර මරණ දඬුවමද මාලිමා ආණ්ඩුවෙන් නියම කර තිබේ. මෝඩ බයියන්ට තමන්ගේ උපන් වල්කම වහ ගැනීම සඳහා බැන බැන ඉන්න කදිම හොරු ටිකක් දැන් සොයා ගෙන තිබේ.

මා බලා සිටින්නේ කොළඹ හතේ ඊනියා සත්ත්ව අවිහිංසාවාදීන් ටික කරන්නේ කුමක්ද කියාය. මාලිමා ආණ්ඩුව බලයට ගෙන ඒමට විශාල මෙහෙවරක් කළ ඔවුන් දැන් ඉන්නේ කටේ පිට්ටු පුරවා ගෙනය. රාජපක්ෂලාගේ ආණ්ඩුවකින් මෙහෙම ප්‍රකාශයක් කළා නම් මෙලහකට ඔවුන් ජනපතිගේ නිවස අසල උද්ඝෝෂණ කරන්නේය. සිරසේ ඔමායා එහි සිට විනාඩි පහෙන් පහට ලයිව් දෙන්නේය. දැන් ඒ කිසිවක් නැත.

සියලුම රිළවුන්ට වෙඩි තබා අවසන් කළ පසු ඔබට වැටහේවි ප්‍රශ්නයට හේතුව උන් නොවන බව. එවිට නැවත අලුත් හොරු අවශ්‍ය වනු ඇත. එදාට එම තුවක්කුව එල්ල වනු ඇත්තේ කාටද? ධර්මය ඔබට මග වේවා!


Subscribe to my WhatsApp Channel: https://whatsapp.com/channel/0029VampDaLAe5VpMwYZUk3b

ජනප්‍රිය ලිපි

ගෝඨාභය සහ බැසිල්

දඩයක්කරුවා දඩයම වීම

ප්‍රභූන්ගේ කවටයා