අනුරට තද වෙන්නේ ඇයි?

අතිගරු අනුර කුමාර ඊයේ සහල් ව්‍යාපාරිකයන් කැඳවා ප්‍රසිද්ධියේ තර්ජනය කළේය. දවස් හතක් ඇතුළත සහල් ප්‍රශ්නය නොවිසඳුවහොත් “ඊළඟ පියවර” ගන්නා බවට මේසයේ අත ගසා තර්ජනය කළේය. ජනාධිපති මාධ්‍ය අංශයත් බොහෝ චූන් වී එය ඒ ආකාරයෙන්ම ප්‍රසිද්ධ කළේය. එය හරියට මලයාලම් ෆිල්ම් සීන් එකක් වගේ ක්රින්ජ් සහගතය. ගෝඨාභයගේ මාධ්‍ය අංශයත් එවැනි විශිෂ්ට ගොන්කම් කළේය. ගෝඨාභයටත් අනුරටත් ඡන්දය දුන් ගොඩේ බයියන් චූන් කිරීමට නම් ඒවා හොඳය. පසුව ජනප්‍රිය විහිළු බවට පත් වූ ප්‍රකාශ ඒ දවස්වල එළියට දැම්මේ දුරදිග නොහිතාය.

එවැනි වැඩවලින් කාරණා දෙකක් පැහැදිලි වේ. පළමුවැන්න නම් අතිගරු අනුර කුමාර ඉන්නේ දැඩි පීඩනයක බවයි. පරිණත රාජ්‍ය නායකයෙක් කවදාවත් තමන් ඉන්නේ පීඩනයක කියා මහා ජනතාවට පෙන්වන්නේ නැත. රාජ්‍ය නායකයා සෑම විටම ඉතා සන්සුන් විය යුතුය. සන්සුන්කම යනු ඉතාම බිය උපදවන චර්යාවකි. අනුරගේ පිප්පිල්ලෙන් සිදු වූයේ සහල් ව්‍යාපාරිකයන් හිත යටින් සිනා සීමයි. මෙයට පෙර ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් කැඳවා කළ තර්ජනයත් ඒ ආකාරය. ඔවුන් පිටත්ව ගියේ “දෙන්නම් උඹට!” කියා සිනා සෙමිනි.

දෙවැනි කාරණය නම් සහල් ප්‍රශ්නය විසඳන ආකාරය පිළිබඳව අනුරට පැහැදිලි අවබෝධයක් නැති බවයි. මිනිහෙකුට කේන්ති යන්නේ ප්‍රශ්නයට විසඳුමක් නැති වූ විටය. ලංකාවේ සිටින ලෝකාග්‍ර අතිපණ්ඩිතයන් සියලු දෙනාගෙන්ම සමන්විත ආණ්ඩුවක් හදා ගෙනත් කිසිදු ප්‍රශ්නයකට ප්‍රායෝගික විසඳුමක් හදා ගන්නට අනුරට බැරි වී තිබේ. වෙන එකක් තබා ලෝකයේ සිටින දක්ෂතම ඩේටා සයන්ටිස්ට් වන මා මිත්‍ර චතුරංග අබේසිංහ වැන්නවුන් පවා සිටියදී හාල් පොල් තෙල් විදුලිය ආදී කිසිදු ප්‍රශ්නයකට විසඳුමක් හදා ගන්නට අනුර අසමත් වී තිබේ. ඔහුගේ තර්ජන ගර්ජනවලින් පැහැදිලි වන්නේ එයයි.

සහල් ව්‍යාපාරිකයන් හෝ ඕනෑම අයෙක් මට්ටු කර ගැනීමට උවමනා නම් කිසිම විටෙක ප්‍රසිද්ධියේ තර්ජනය නොකළ යුතුය. එයින් සිදු වන්නේ ජනතාව ඉදිරියේ තමා ජෝක් එකක් වීමයි. එහෙම කෑ ගසා තර්ජනය කරන්නේ ෆිල්ම්වල පමණී. ඇත්තටම ගහන මිනිහා කිය කිය ගහන්නේ නැති බව ඔය ව්‍යාපාරිකයන් දනී. ඔවුන් සියලු දෙනා අනුරට වඩා සිය දහස් වාරයක් ගෙන්දගම් පොළොවේ තෙම්පරාදු වුණු මිනිසුන්ය. අනුරට වඩා බොහෝ හයිය ජනාධිපතිවරු යටතේත් සිය ව්‍යාපාර කළ මිනිස්සුය. 

ගහන මිනිහා ගහන්නේ නොකියාය. දැන් ඔය සහල් ව්‍යාපාරිකයන්ට විශාල වාසියක් ලැබී තිබේ. ඔවුන්ට කිසියම් හෝ අනතුරක් සිදු වුවහොත් එහි වගකීම පැටවෙන්නේ “ඊළඟ පියවර” ගන්නවා කියා තර්ජනය කළ කෙනාටය යන අදහසම ඔවුන්ට විශාල වාසියකි. එම ප්‍රසිද්ධ තර්ජනය විසින් ලංකාවේ සමස්ත ව්‍යාපාරික ප්‍රජාවම අනුර සමග අමනාප විය. එය අනුර කර ගත් විශාල මෝඩකමකි. අනුර සන්සුන් විය යුතුය. සිහි එළවා ගත යුතුය.

සැබැවින්ම අද තිබෙන සහල් ප්‍රශ්නය මෝල් හිමියන් විසින් ඇති කරන තත්ත්වයක් විය නොහැකිය. එය ඇති කරන්නේ වෙනත් පිරිසක් විය හැකිය. එම පිරිස අනුර සමග තරහා වුණේ මාලිමාවේ කැබිනට් එක හදපු දවසේ විය හැකිය. රාජ්‍ය පාලනයේදී අප සෑම විටම මතක තබා ගත යුත්තේ "it is not what it seems" යන්නයි. එනම් “කිසිම දෙයක් එය සරලව මතුපිටින් එකවර පෙනෙන දෙය නොවේය” යන්නයි. බොහෝ විට ප්‍රශ්නයට හේතුව තිබෙන්නේ අප නොහිතන තැනකය. ඕනෑම මානව සමාජ ප්‍රශ්නයක් එහෙමය. පොල් ප්‍රශ්නයට වත්තට එන ඕනෑම සතෙකුට කැමති දෙයක් කරපල්ලා වැනි “ජීව විද්‍යාත්මක” ගොන්පාට් දාන කැබිනට් එකක් සමග අනුරට මේක කරන්නට බැරි බව දැන් ඉතා පැහැදිලිය. දිස් ඉස් පොලිටික්ස්.


Subscribe to my WhatsApp Channel: https://whatsapp.com/channel/0029VampDaLAe5VpMwYZUk3b

ජනප්‍රිය ලිපි

ගෝඨාභය සහ බැසිල්

දඩයක්කරුවා දඩයම වීම

ප්‍රභූන්ගේ කවටයා