ගරු කවටනායකතුමනි
මෙවර හැදී ඇති පාර්ලිමේන්තුව තනිකරම ලංකාවේ නූතන මධ්‍යම පන්තිය ඒ ආකාරයෙන්ම නියෝජනය කරන එකකි. කතානායක යනු එම සමාජයේ හොඳම නියෝජනයකි. ඔහු ඊනියා උගතෙකි. නමුත් ඔහුට නිවැරදිව ඉංග්‍රීසි වචන උච්චාරණය කළ නොහැකිය. Honourable යන වචනය උච්චාරණය කරන්නේ “හොනරබල්” කියාය. එය අහන විදේශ තානාපතිවරුන් උපහාසයෙන් සිනා සේ.
ලංකාවේ නූතන මධ්‍යම පාන්තිකයාද එවැන්නෙකි. ඔවුන් බහුතරයකට නිවැරදිව ඉංග්‍රීසි උච්චාරණය කළ නොහැකිය. ලාංකිකයෙකුට ඉංග්‍රීසි නොහැකි වීම ප්‍රශ්නයක් නොවේ. ප්‍රශ්නය වන්නේ දන්න සිංහලයෙන් කතා කිරීම අවතක්සේරු කර, බැරි ඉංග්‍රීසි කියමින් පොෂ් වෙන්නට ගොස් වරිගේ නසා ගැනීමය. එය හීනමාන සංකීර්ණයකි. ලාංකික මධ්‍යම පාන්තිකයා තුළ මෙය පැහැදිලිව දැක ගත හැකි චර්යාවකි.
මෙය වඩාත්ම හාස්‍යජනක වන්නේ අර සුද්දාගේ බොරු සුදු කොණ්ඩයත් දමාගෙන කැඩිච්ච ඉංග්‍රීසියෙන් කතා කරන විටය. ඒ මධ්‍යම පාන්තිකයා මුල් දවසේ එම කොණ්ඩය යටින් එකතු කර කටුවක් ගසා ගෙන ආවේය… කිසිදු සන්සුන් බවක් නොපෙන්වන ඔහු ළඟ සිටින සහායකයා කියන කියන දෙය කරයි. “ගරු කතානායකතුමනි… ගරු කතානායකතුමනි…” යනුවෙන් තමාවම අමතා ගනියි. එය හරියට අර විනෝද සමයේ බර්ටි ගුණතිලක විසින් වරක් රඟ දැක්වූ සූටින් “ඌ මට ගහනවා… මට ඌ ගහනවා” යනුවෙන් කීවාක් වැනිය. කතානායක යන නමට වඩා ඔහුට ගැලපෙන්නේ “ගරු කවටනායක” යන නාමයයි. මේ පාර්ලිමේන්තුව තිබෙන තුරා ඔහු අපට කවට ජවනිකා දෙමින් විනෝදය සපයනු නොඅනුමානය.
ජනතාව මෙවර පත් කර ගෙන ඇත්තේ සැබැවින්ම ළදරු පාර්ලිමේන්තුවකි. විපක්ෂයේත් එහෙමට පරිණත චරිතයක් නොමැත. ජනරජයේ තීරණ ගන්න, නීති හදන්න, ව්‍යවස්ථා හදන්න ජනතාව තෝරා ගෙන ඇත්තේ ඉතාම ළාමක, අත්දැකීම් නොමැති නමුත් තමන් ගැන විශාල අධිතක්සේරුවක සිටිනා අති පණ්ඩිත අහංකාරයන් 225 කි. හරියටම කිව්වොත් ලංකාවේ මධ්‍යම පන්තියේ සැබෑ නියෝජනයකි.
මෙය ඉතාම සිත් ගන්නා සුලු පරීක්ෂණයකි. මේ ලිපිය කියවන මධ්‍යම පාන්තිකයාගේ ක්ෂණික ප්‍රතිචාරය වන්නේ “මෙච්චර කල් හිටපු පරිණත අය හරියට කළා නම් මෙහෙම වෙන්නේ නැහැ” වැන්නකි. එම ප්‍රතිචාරයේ ඇති උත්ප්‍රාසය වන්නේ දැන් ඉන්නේ අපරිණතයන් බව එම පිළිතුරෙන්ම ඔවුන් පිළිගැනීමය. 1972 ජනරජ ව්‍යවස්ථාව හැදූ, 1978 ව්‍යවස්ථාව හැදූ ප්‍රාමාණිකයන් සමග නම් මේ පාර්ලිමේන්තුව අහලකින්වත් තියන්නට බැරිය. මෙතෙක් කල් සිටි නියෝජිතයන්ගේ පරිණත-අපරිණත භාවයන් පිළිබඳව වෙනම කතා කළ යුතුය. නමුත් ඉතිහාසයේ කිසිම දිනයක මේ තරම් ළාමක පාර්ලිමේන්තුවක් තිබී නොමැත. ඒ අනුව ගත් කල සැබැවින්ම මෙය ලෝක වාර්තාවකි.
මෙය වැළැක්විය නොහැකි තත්ත්වයකි. ඕනෑම පාර්ලිමේන්තුවකින් නියෝජනය වන්නේ එම අවස්ථාවේ රටේ සිටින ජනතාවයි. මොන පක්ෂයේ වුවත් අද ලංකාවේ සාතිශය බහුතරය මෙම පාර්ලිමේන්තුවෙන් එකවර නිරූපණය වේ. වෙනකක් තබා නූතන ලංකාවේ දෙමළ ප්‍රජාව හරියටම නියෝජනය කරන අර්චුනා වැන්නවුන්ද එහි සිටී. ඊනියා සිංහල ජාතිකවාදීන් නියෝජනය කරන දිලිත් ජයවීරත් එහි සිටී. රුපියල් 50,000 ටිකට්වලට ඩුප්ලිකේට් ABBA ගේ සිංදු අහන ඇන්ටිලාද එහි සිටී. ලැම්බෝගිනියක් ඉල්ලා හඬන රැඩිකල් තරුණයන්ද එහි සිටී.
මෙහි විපාකය ඉතාම පැහැදිලිය. අනුර කුමාර ජනපතිවරයාට අද IMF එක ඉස්සරහා අහිංසක බලු කුක්කෙකු බවට පත් වන්නට වී තිබෙන්නේ ඔහු තුළ පවතින හීනමානය නිසාය. ඉංග්‍රීසියෙන් කතා කරන්නට බැරි වීම ගැන හීනමානයක් තිබෙන විට සුද්දා ඉස්සරහා දෙකට නැවේ. සුද්දාගේ නියෝගයට අද රටේ ආර්ථිකය දුවන්නේ ඒ නිසාය. අසාමාන්‍ය ලෙස දුර්වල පාලන තන්ත්‍රයක් බිහි වූ පසු රාජ්‍යය පාලනය ඔවුන්ගෙන් ගිලිහේ. මේ පාර්ලිමේන්තුවට වන්නේත් එයමය. එදිනෙදා විහිළු දෙස බලමින් අපට විනෝද විය හැකි වුවත්, මෙහි බරපතලකම දැනෙන්නේ අලුත් ව්‍යවස්ථාව හැදෙන දවසටය. ධර්මය ඔබට මග වේවා!
අර විනෝද සමය වැඩසටහන මෙතනින් බලන්න: https://www.youtube.com/watch?v=7LPyv19UtsQ
Subscribe to my WhatsApp Channel: https://whatsapp.com/channel/0029VampDaLAe5VpMwYZUk3b