අනුරට බය නැති වීම
මා මෙය මින් පෙරද දැක තිබේ. එකල වැසියන් තුළ ගෝඨාභය කෙරෙහි දැඩි බියක් තිබිණි. බිය යනු රාජ්‍ය පාලනය සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. ආරක්ෂක ලේකම් හැටියට ගෝඨාභය අත ගැසූ හැම දෙයක්ම සාර්ථක වූයේ ඔහු පිළිබඳව සියල්ලන් තුළ වූ බිය නිසාය. රාජ්‍ය නිලධාරීන් ඉතා උනන්දුවෙන් වැඩ කළේ එම බිය නිසාය. කොළඹ මිනිස්සු පාරට කුණු කෑල්ලක් දාන්න බයෙන් හිටියා මතකද? අමුතුවෙන් Clean Sri Lanka ව්‍යාපෘති කරන්නට උවමනා වුණේ නැහැ. ඒ කාලේ කොළඹ නගරය දකුණු ආසියාවේ පිරිසිදුම නගරයද මොකක්දත් වුණා. රටේ විනය අමුතුවෙන් හදන්නට අවශ්‍ය වුණේ නැහැ. රාජිතගේ බොරු මිනීමෝරු කතාවලින් ඇත්තටම වුණේ රටේ මිනිස්සු වැරදි කරන්නට බිය වීමයි.
රාජ්‍ය පාලනය යනු මිනිසුන් පාලනය කිරීමය. මිනිසා යනු සතෙකි. සතුන් පාලනය කළ හැක්කේ බියෙන් පමණී. පාලකයා කෙරෙහි ඇති බිය නැති වූ මොහොතේම පාලනය ගිලිහේ. ගෝඨාභය ජනපති වූ පසු ඔහු තමන් විසින්ම එම බිය නැති කර ගත්තේය. මා හිතන්නේ ඔහු ඒක කළේ හිතලමයි. ඔහු කැමති වුණේ නැහැ බියජනක චරිතයක් හැටියට ඉතිහාසයේ ලියවෙන්න. මොකද ඔහු ඇත්තටම ඉතාම කරුණාවන්ත මනුස්සයෙක්. අවස්ථාවන් විසින් තමයි ඔහුව බියකරු පුද්ගලයෙකු කළේ. නමුත් ඒ ප්‍රතිරූප පරිවර්තනය වෙනුවෙන් ඔහුට විශාල වන්දියක් ගෙවන්න වුණා.
දැන් අනුරට වෙමින් තිබෙන්නේ එයයි. සත්තු තමන්ගේ නායකයා හැටියට හොයන්නේ තමන්ට වඩා ප්‍රබල සතෙක්. කැලේ රජා සිංහයා කියන්නේ ඒකයි. සිංහ රංචුවක වුණත් නායකත්වය ලැබෙන්නේ දරුණුම සිංහයාට. ඒ සිංහයා සුළු හෝ දුර්වලතාවයක් පෙන්වූ මොහොතේම තවදුරටත් ඔහුට අනෙක් සත්තු අවනත වෙන්නේ නැහැ. සජිත්ට මිනිස්සු කැමති නැත්තේ ඒකයි. මිනිස්සු සජිත්ට බය නැහැ. මිනිස්සු අනුරට සහ ජවිපෙට බය වුණා. නමුත් ජාතික ජන බලවේගය මේ මාසෙට දෙකට කරපු ගොන් වැඩවලින් මිනිස්සුන්ට ඒ බය නැති වෙමින් තිබෙනවා.
අර හාල් මෝල් හිමියන් ඉස්සරහා අනුර සවුත්තු වුණ එක නොපෙන්වා ඉන්න තිබුණා. ජනාධිපතිවරයෙක්ව මුලින්ම ජෝකර් කෙනෙකු කරන්නේ ඔහුගේම මාධ්‍ය ඒකකය විසින්. ගෝඨාභයට තිබුණු බය නැති වෙන්න ප්‍රධාන හේතුවක් වුණේ ගම සමග පිළිසඳර. අර අට්ටාලයක් උඩ ඉඳගෙන අශීලාචාර ගොවියෙක් කරපු විහිළු ආදියෙන් වැසියන් සහ ජනපති අතර තිබිය යුතු දුරස්ථභාවය නැති වුණා. පාලකයා කවදාවත් වැසියන් හා සමානව පෙනී නොසිටිය යුතුයි. විශේෂයෙන්ම නූගත් මෝඩ ප්‍රාථමික ජනතාවක් ඉන්න රටක.
එවැනි මිනිස්සු ක්‍රියාත්මක වෙන්නෙම බිය මත. ඉස්ලාම්, ක්‍රිස්තියානු, හින්දු වැනි දේවවාදී ආගමිකයන් වැරදි නොකර ඉන්නේ සර්වබලධාරීට බය නිසා. නාමික බෞද්ධයන් වැරදි නොකර ඉන්නේ ප්‍රාදේශීය දෙවිවරුන්ට බය නිසා. එහෙම නැත්නම් කර්මයට බය නිසා. පොයින්ට් එක තමයි පෘතග්ජන මනුෂ්‍යයා පාලනය කරන්නේ බය විසින් සහ බය විසින් පමණයි.
නාමල්ගේ උපාධිය ගැන වසන්ත සමරසිංහ කළ මෝඩ කතාව ජෝක් එකක් වෙලා ඉවරයි. උගන්ඩා කතාවත් එහෙමයි. යහපාලනය කාලේ වගේ අනෙක් චෝදනාත් ඒ වගේම ජෝක් බවට පත් වෙනවා. අතේ හිටිය පාතාලයන් රටින් පැනලා යන කොට මිනිස්සු හිනා වෙනවා. කොටි සැමරුම්වලට විරුද්ධව වචනයක් කියන්න බය මිනිහට දකුණේ කිසිවෙක් බය වෙන්නෙත් නැහැ. ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව දැන් පොඩ්ඩක්වත් අනුරලට බය නැහැ. ඔවුන් අනුරගේ කරේ නැගලා ඉන්නේ. IMF එක ඉන්නේ අනුරගේ ඔළුව උඩ නැගලා.
රාජ්‍ය පාලනය ජවිපෙ අතින් වේගයෙන් ගිලිහී යමින් තිබෙනවා. ජාජබ මන්ත්‍රීවරුන් ජනතාවට විහිළු සපයන්නන් බවට පත් වී සිටිනවා. රංවලගේ සිද්ධිය කළමනාකරණය කළේ සම්පූර්ණයෙන්ම වැරදි විදිහට. රංවලව ඉවත් නොකර, ඒ පැමිණි විරෝධය යකඩ අතකින් පාලනය කරන්න තිබුණා. අර හර්ෂණ නානායක්කාර CID යනවා වගේ විහිළු නොකර ඉන්න තිබුණා. තමන්ගේ කණෙන් රිංගලා පාස්පෝට් 17 ක් ගත්ත හැටි ගැන වටගල මාධ්‍යයට කියන කොට මිනිස්සු හිනා වෙනවා.
අපිත් ඒ දවස්වල හිතුවේ මිනිස්සු බය කරලා දේශපාලනය නොකළ යුතුයි කියලයි. අපි හිතුවේ ඊට වඩා උසස් දේශපාලන සංස්කෘතිකයක් හදන්න ඕනා කියලයි. නමුත් ලංකාවේ ඉන්න අසංස්කෘතික සාහසික මෝඩයන් එක්ක ඒ වැඩේ කරන්න බැහැ කියලා අපට ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ වුණා. ගෝඨාභය වගේ නායකයෙකුටත් කරන්න බැරි වුණු දෙය තමන්ට කොහොමත්ම කරන්න බැරි බව අනුර තේරුම් ගත යුතුයි. දිස් ඉස් පොලිටික්ස්.
