නත්තල හැදුන හැටි සහ බෞද්ධ ධර්මය



නත්තල යන වචනය හැදුන හැටි ඔබ දන්නවද? ඒ වචනය ලංකාවට හඳුන්වා දෙන්නේ පෘතුගීසි කතෝලික ආක්‍රමණිකයන් විසින්. ජේසුස්ගේ උපත ඔවුන් අදටත් හඳුන්වන්නේ Natal (ශබ්ද කරන්නේ නෑ/නා-තල්). Natal තමයි “නත්තල්” වන්නේ. Natal කියන්නේ ඉපදීමට. නමුත් මේ වචනයට ඈත අතීත සම්බන්ධයකුත් තිබෙනවා.

Native, Nation, Nature වැනි තවත් බොහෝ Nat- මුලට යෙදෙන නූතන යුරෝපියානු වචන ඉපදීම හා සම්බන්ධයි. ඒවා එන්නේ පැරණි ලතින් භාෂාවේ (g)natus වචනයෙන්. මුල් කාලයේ “ජ-න” ශබ්ද එකට බැඳිලා තිබුණේ. Gender, Generation, Genetics වචන වල අර්ථයත් ඉපදීම හා සම්බන්ධයි. දැන් තේරෙනවා ඇති මේක යන්නේ කොහෙද කියලා…

ජනිත, ජනන, ජාන ආදී බොහෝ වචන ඉපදීම හා සම්බන්ධයි. මව් කුසින් ඉපදීම වගේම ඊටත් වඩා ගැඹුරු අර්ථයෙන් යමක් ඇතිවීම, හට ගැනීම, ආරම්භය වගේ අදහසක් එහි තිබෙනවා. “ජාති” කියන්නේ ජනති යන්නෙහි අතීත කාල පදය. මේවා එන්නේ සංස්කෘත භාෂාවෙන්. නමුත් තවත් ඉතිහාසයට ගියොත් මේ සියලු වචන එන්නේ ප්‍රාග් ඉන්දු-යුරෝපියානු භාෂාවේ *ǵenh- වැනි ශබ්දයකින් විය හැකි බවයි භාෂා විද්‍යාඥයන්ගේ මතය. පෘතුගීසි, ඉංග්‍රීසි සහ සිංහල ඇතුළු ලෝකයේ බාගයකට වඩා “ජන”තාව කතා කරන්නේ ඒ මුල් මව් භාෂාවෙන් පරිණාමය වුණු ඉන්දු-යුරෝපියානු භාෂා. (දෙමළ ඒ භාෂා පවුලට අයිති නැහැ. ඒක ද්‍රවිඩ පවුලේ භාෂාවක්.)

එතකොට නත්තල කියන්නේ ඉපදීමට. ඕනෑම කෙනෙකුගේ උපන් දිනයට නත්තල කියන්නත් පුළුවන්. ක්‍රිස්තියානුවන් සියලු දෙනාම පාහේ අද “ජේසුස්ගේ නත්තල” සමරනවා. ඓතිහාසික ජේසුස්ගේ උපන් දිනය දෙසැම්බර් 25 නොවන බව ඉතිහාසඥයන් ගණනය කළත් ඒක එතරම් වැදගත් නැහැ. මෙතන වැදගත් දේ තමයි මේ “ඉපදීම” පිළිබඳ අදහස. 

අද බොහෝ දෙනා සත්තු මරලා මස් කාලා වයින් බීලා සතුටු වුණාට බයිබලයේ කියවෙන ජේසුගේ ජීවිතයම මහා ඛේදවාචකයක්. සත්තු ලගින අපවිත්‍ර ලෙනක් ඇතුළේ ඉපදිච්ච දවසේ ඉඳලා දුක් ගැහැට විඳිමින් ජීවත් වූ ඒ අවාසනාවන්තයා අවසානයේ මිනිහෙකුට අත්විඳින්න පුළුවන් නින්දිතම මරණයකට පත් වෙනවා. ජේසුගේ ඉපදීම, ජීවිතය සහ මරණය තරම් ලෝක සත්‍යය අවබෝධ කරගන්න සුදුසු කතාවක් නැති තරම්.

“ජාති පච්චයා ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවන්ති” කියලයි බුදුන් වහන්සේ දේශනා කළේ. එනම් “ඉපදීම හේතුවෙන් ජරාව (දිරා යාම), මරණය, ශෝකය, වැළපීම, දුක් දොම්නස, සන්තාපය හට ගනී”. ඒක තේරුම් ගන්න ජේසුගේ නත්තල ඉතාම හොඳ නිමිත්තක්. 

ඔබ කල්පනා කළ යුතුයි ඔබගේ ඔය දහසකුත් එකක් දුක් කම්කටොළු සහිත අනුකම්පා සහගත නොවැදගත් කෙටි ජීවිතයට “හේතුව” ඔබේ නත්තල හෙවත් ඔබේ ඉපදීමය කියා. කාගෙ පුත්‍රයා වුවත් ජරා මරණයෙන් ගැලවෙන්න බැහැ. ඉපදීමත් එක්කම ඒවා අනිවාර්යෙන් හට ගන්නවා. ඔබට පුළුවන් නැවත නත්තල් වීම නවත්වන්න පමණයි. ධර්මය ඔබට මග වේවා!

ජනප්‍රිය ලිපි

ගෝඨාභය සහ බැසිල්

දඩයක්කරුවා දඩයම වීම

ප්‍රභූන්ගේ කවටයා