සිවුර සහ භික්ෂුව
කිරුළපන ධම්මවිජය නමින් සිටි භික්ෂුව සිවුරු හැර ගිය ප්‍රවෘත්තියක් පසුගියදා ප්‍රචාරය විය. මා ඒ ගැන වැඩිපුර සෙව්වේ නැත. මන්ද එය මා හට පුදුමයක් නොවූ හෙයිනි. ගිහි ජීවිතයෙන් නික්මෙන භික්ෂුව නැවත ගිහි ජීවිතයට වැටීම අභාග්‍යයක් වුවත් වර්තමානයේ ඒ සඳහා විශාල පෙළඹවීමක් තිබේ. එය වෙන්නේ කෙසේද?
සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් ගිහි ගෙයින් නික්ම යන්නේ එහි දුක් සහිත බව ඒකාන්තයෙන්ම අවබෝධ කර ගෙනය. නෙක්ඛම්මය හෙවත් නික්මීම යනු ගිහි ජීවිතය පිළිබඳව ඇති වන කලකිරීම විසින් නිරායාසයෙන් සිදු වන දෙයකි. ගිහි ගෙය පිළිබඳව සැබැවින්ම කලකිරුණු පුද්ගලයා අනිවාර්යෙන්ම ඊළඟට කරන්නේ නික්මීමයි. ඔහු නැවත කිසිවිටෙක පෙර තැනට යන්නේ නැත. උස් තැනින් පහත් තැනට ජලය ගලන්නාක් මෙන් වන එය තාර්කික හේතු-ඵල දහමකි.
නමුත් මහණ වෙන සෑම පුද්ගලයාම එසේ ගිහි ගෙය පිළිබඳව සැබැවින්ම කලකිරුණු අය නොවේ. එදා මෙන්ම අදත් ලෞකික ලාභ ප්‍රයෝජන ඇතුළු විවිධ අන්‍ය හේතු මත පුද්ගලයන් පැවිදි වේ. එය වැළැක්වීම අපහසුය. පැවිදි වන ඇතැමුන් තමාට ගිහි ගෙය එපාය කියා අවංකව සිතුවත් ඔවුන්ට තවම අර පූර්ණ කලකිරීම ලැබී නැත. එවැන්නවුන්ට නැවත ගිහි ගෙයට වැටෙන්නට පහසුය. මෙයට බොහෝ දුරට වගකිව යුත්තේ දායකයන්ය.
පන්සලේ භික්ෂුව සමග ඕනෑවට වඩා සමීප වෙන දායකයා පාප මිත්‍රයෙකි. මිල අධික ඇපල් ෆෝන්, බෙන්ස් කාර්, සැප මන්දිර ආදිය පරිත්‍යාග කරන්නා සැබැවින්ම භික්ෂුවට කරන්නේ අපරාධයකි. එයින් කරන්නේ භික්ෂුව නැවත ගිහි ජීවිතයට ඇද ගැනීමකි. පෙළඹවීමකි. හුදකලා ආරාමයක සැහැල්ලුවෙන් සමාධිය වඩන භික්ෂුවක් දකින දායකයා ඉන් පසුව එම භික්ෂුවට තමන් භාවිතා කරන සියලු කාම වස්තූන් පිරිනමයි. ප්ලේන් එකේ ලෝකය වටේ ගෙන යයි. ගෙන ගොස් ගිහි ජීවිතයේ කාම ආසාව වඩවයි. සිල්වත් භික්ෂුවකට විය හැකි නරකම දෙය එවැනි මෝඩ දායකයන් හමු වීමයි.
නගරාශ්‍රිත පන්සල්වල ජීවත් වෙන භික්ෂුව ගිහි සමාජය සමග නිතර ගැටීම වැළැක්විය නොහැකිය. බණට දානයට පිරිතට පාංශුකූලයට ඔවුන් වැඩම කළ යුතුය. එය ගිහි ගෙය සමග වැඩිපුර ගැටීමකි. එම ගැටීම නුවණින් දැක සමබරව කළ හැකි ප්‍රඥාවන්ත භික්ෂූන්ද සිටී. නමුත් බොහෝ තරුණ භික්ෂූන්ට ඒ සඳහා අවශ්‍ය ජීවිතාවබෝධය තවම නොමැත. ළමා කාලයේ මේ කිසිවක් නොදැන මහණ කරවන පුද්ගලයන් ගිහියන් මෙන් විභාග ලියමින්, උපාධි කරමින්, ගුරුවරුන් ලෙස රැකියා කරමින් ජීවත් වේ. ඇතැමුන් ඡන්දය ඉල්ලමින් දේශපාලනය පවා කරයි. සමන්ත භද්‍ර, කිරිබත්ගොඩ ඥානානන්ද වැනි ඇතැම් භික්ෂූන් ගිහියන්ටත් වඩා විශාල ව්‍යාපාර හදා ගනී. මේවා කිසිවක් පාලනය කළ හැකි දේ නොවේ. මේවයින් පෙන්වන්නේම කාම ලෝකයේ ඇති ප්‍රබලත්වයයි. එයින් මිදීම කෙතරම් අපහසුද යන්න මේවයින්ම ඔප්පු වේ.
මෙම අර්බුදයේ විශේෂ කොටසක් වන්නේ සිංහල ජාතිය හා බැඳුනු බුද්ධ ශාසනය රැක ගැනීම වෙනුවෙන් කටයුතු කරන භික්ෂුවය. එම භික්ෂුවටත් ගිහි සමාජය සමග නිරන්තරයෙන් ගැටීමට සිදු වේ. එය සිහියෙන් කළ යුතු දෙයකි. යූටියුබ් එකේ comment කරන ද්වේශ සහගත අමනයා සමගත් ගැටීමට යාම අනුවණකමකි. එම ගැටීම ක්‍රමයෙන් තද උපාදානයක් බවට පත් වී එයින්ම නැසේ. එයින් මිදීමට නොහැකි වන භික්ෂුව එක්කෝ නැවත ඉන් නික්මී විමුක්ති මාර්ගයට පැමිණේ. නොඑසේ නම් සිවුර හැර දමා ගිහියෙකු මෙන් සටනට බසී. එවැනි භික්ෂූන් අතීත කාලයේද සිටි බව අප කියවා අසා ඇත.
මේ අතර සිය නැති බැරිකමට සිවුර පොරවා ගන්නා අයද සිටී. පන්සලට ලැබෙන සිවුපසයෙන් යැපෙමින් ඔවුන් ඔහේ ජීවත් වේ. පෙරේතයන් මෙන් ඔවුන් රස වැඩි තැන් සොයා යයි. පාස්ටර් ජෙරම් පමණක් නොව ජේසුස් ක්‍රිස්තුස් වෙත ගියේත් එවැනි දුර්වලයන්ය. දුර්වලයන්ට අප අනුකම්පා කළ යුතුය. විමුක්ති මාර්ගය පහසු නැත. ධර්මය ඔබට මග වේවා!