මළවුන්ගේ අනන්‍යතා දූෂණය

දකුණේ සිංහලයන්ට ආණ්ඩුව ඔප්පු කරන්න හදන්නේ උතුරේ දෙමළු කිසිම ආකාරයක කොටි සැමරුමක් කර නොමැති බවයි. එනම් සතියක් පුරා ඔවුන් සමරා ඇත්තේ “කොටි නොවන” දෙමළ මළවුන් බවයි. ඒ මළවුන් අතර කිසිදු එල්ටීටීඊ සාමාජිකයෙකු නොමැති බවයි. අම්මලාගේ බඩ කපා, ඇකයේ හුන් අත දරුවන් පොළොවේ ගසා මරා දැමූ එකදු සාහසික කොටියෙකු ඒ අතර නොමැති බවයි. නාම පුවරු ගසා, මල් තියා, පහන් පත්තු කර සමරා ඇත්තේ අවි නොගත් අහිංසක සිවිල් දෙමළ වැසියන් බවයි. ඔවුන්ට ඊනියා “මහාවීර්” කියන්නේ නිකමට බවයි. එල්ටීටීඊ ත්‍රස්ත නායකයාගේ උපන් දිනයට සමගාමීව එය කරන්නේ තනිකරම අහම්බයෙන් බවයි.

එය සත්‍යයක් නම් ආණ්ඩුවේ එම උත්සාහය දෙමළ ඩයස්පෝරාවට එල්ල කරන කණ පැලෙන අතුල් පහරකි. ඔය ත්‍රස්තානුකම්පක නිර්මාල් දේවසිරිගේ සිත රිදී ඇත්තේ ඒ නිසාය. ආණ්ඩුවට කඩේ යන ඊනියා fact චෙකර්ලා පශ්චාත්භාගය ඉරා ගෙන සාක්ෂි සහිතව ඔප්පු කර ඇති පරිදි ත්‍රස්තයන් සමරා ඇත්තේ කැනඩාවේ හෝ ඕස්ට්‍රේලියාවේ සිටින දෙමළ ප්‍රජාව විසින් පමණී. ඊලාම් සිතියම සහ කොටි නායකයාගේ රූපය පෙනෙන පරිදි සමරා ඇත්තේ පිටරට මිසක් ලංකාවේ නොවේ. ආණ්ඩුව කියන්නේ පිටරට එහෙම කරන්න ඉඩ දුන්නත් ලංකාවේ හතර මායිමේ එවැන්නක් කිරීමට ඔවුන් කිසිසේත්ම ඉඩ නොදෙන බවයි. පිටරට සමරන්නේ ඊළම වෙනුවෙන් අවි ගෙන සටන් කළ මළවුන් වුවත්, ලංකාවේ සමරන්නේ ඒ මළවුන් නොවේ. මළවුන්ද තමන්ගේ අනන්‍යතාවය පිළිබඳව කන්ෆියුස් නොවිය යුතුය.

එය කෙතරම් දරුණුවට ක්‍රියාත්මක කරනවාද යත්, පසුගිය වසරවල ලංකාව තුළ සිදු කළ සැමරුම් කිසිවක් මෙවර කරන්නට ඉඩ දී නොමැති බව ආණ්ඩුව කියයි. ටැමිල් ගාර්ඩියන් විසින් ප්‍රචාරය කළ බවට share වුණු සැමරුම් කර ඇත්තේ පසුගිය වසරවලය. එනම් මේ ආණ්ඩුව පෙර ආණ්ඩුවලටත් වඩා දරුණුවට ප්‍රති-ත්‍රස්ත නීතිය ක්‍රියාත්මක කර තිබේ. පසුගිය වසරවල කළ සැමරුම් share කළ හාල්මැස්සන් පවා මහා රෑ නොබලා ගොස් අත්අඩංගුවට ගෙන වහාම නීතිය හමුවට ඉදිරිපත් කර තිබේ. දේවසිරිට අනුර කුමාරව “අපරිණතව” පෙනෙන්නේ මෙන්න මේ කාරණය නිසාය.

මම නම් අනුර කුමාර ජනපති ප්‍රධාන මාලිමා ආණ්ඩුව මේ කරන වැඩේට කැමතිය. ඔවුන් කරන්නේ සියුම් අනන්‍යතා දූෂණයකි. කිසියම් සැමරුමක් සාර්ථක වෙන්නේ එම සැමරුමට බාහිර ලෝකයේ අර්ථයක් ඇත්නම් පමණී. මළහුගේ කැප කිරීමට වටිනාකමක් ලැබෙන්නේ ඒ කැපකිරීමේ සහ කළහුගේ අනන්‍යතාවය බාහිර ලෝකය විසින් පිළිගන්නවා නම් පමණී. නැත්නම් එහි සමරන්නට කිසිවක් නැත. එවැනි සැමරුම් හිස්ය. අර්ථ ශූන්‍යය. ඵල රහිතය. දේවසිරිට තද වී ඇත්තේ මේ කාරණය නිසාය. එබැවින් මම නම් ආණ්ඩුවේ මේ පරිණත උපක්‍රමයට ඉතා කැමතිය. අප කළ යුත්තේ මළවුන්ගේ අනන්‍යතාවය පිළිනොගැනීමය. වෙල් ප්ලේඩ් කොම්රෙඩ්. ධර්මය ඔබට මග වේවා!


Subscribe to my WhatsApp Channel for more: https://whatsapp.com/channel/0029VampDaLAe5VpMwYZUk3b

ජනප්‍රිය ලිපි

ගෝඨාභය සහ බැසිල්

දඩයක්කරුවා දඩයම වීම

ප්‍රභූන්ගේ කවටයා