අනිල් ජාසිංහ පිළිතුරු දෙනු
කෝවිඩ් වැළඳී මළ ලංකාවේ 16,900 පමණ දෙනාගෙන් මුස්ලිම් ජාතිකයන් ගැන පමණක් කතා කරන රවුෆ් හකීම් විසින් නැවතත් ආදාහන-භූමදාන ප්‍රශ්නය මතු කරමින් තිබෙනවා. එයට පිළිතුරු දෙමින් නලින්ද ජයතිස්සත් සම්පූර්ණ වරද එවක පැවති ආණ්ඩුව වෙත පටවනවා. පාස්කු ප්‍රහාරය වගේ මේකත් දැන් කාලෙන් කාලෙට ගොඩගන්න දේශපාලන මිනියක් වෙලා. නමුත් මේකේ ඇත්ත දන්නේ කවුද?
මේ ගැන උත්තර දෙන්න සුදුසු කෙනෙක් තමයි අනිල් ජාසිංහ. ඔහු එවක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්. ආදාහනය කිරීමට ගත් තීරණය පිළිබඳව මුල සිට අගට ඔහු දන්නවා. ඒ වගේම ඔහු දැන් NPP ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්. එබැවින් ඔහුට යුතුකමක් තිබෙනවා මේ ප්‍රශ්නයට සාධාරණ පිළිතුරක් දෙන්න.
මේ තියෙන්නේ ස්වභාවික සම්පත් පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ ඒ අවස්ථාවේ සියලුම දේහ ආදාහනය කළ යුතු බවට පර්යේෂණ වාර්තා මත පදනම්ව අමාත්‍ය අලි සබ්‍රිට යවපු ලිපිය. ඒ දවස්වල ඇය තමයි කෝවිඩ් විශේෂඥයවරිය වුණේ. ජනමාධ්‍යය ඔස්සේ විශාල ප්‍රචාරයක් ඇයට දුන්නා. ආදාහනය සඳහා ඇයගේ විශේෂඥ උපදෙස තදින් බලපෑවා. නලින්දට ඒ ගැනත් කියන්න සදාචාරයක් තිබෙනවා.
ඒ දවස්වල හැමෝම කිව්වේ “විද්‍යාත්මක” මතය අනුව තීරණ ගන්න කියලයි. කොරෝනා පැනියට හිනා වුණා. ගඟට මුට්ටි දානවට හිනා වුණා. එතකොට මෙත්තිකාගේ විද්‍යාත්මක උපදේශය පිළිගැනීමත් වරදක්ද? එසේ නොකර භූමදානය කරන්න දුන්නා නම්, පසුව ඇති වුණු කෝවිඩ් මරණවලට හේතුව ඔය භූමදානය කිරීමය කියලා ඔය නලින්දලගේම කටින් ඇතැම්විට චෝදනා කරන්න තිබුණා.
විද්‍යාත්මකව වැඩ කරනවා කියලා, ආචාර්ය මහාචාර්යලගේ උපදෙස් අනුව වැඩ කරනවා කියලා, තාර්කිකව, සාධාරණව, යුක්තිගරුකව වැඩ කරනවා කියලා, එහෙම දියුණු සංස්කෘතියක් හදනවා කියලා බලයට පැමිණි නලින්ද ජයතිස්සත් හකීම්ගේ බාල ජාතිවාදය අවුස්සන සුලු වැඩ කිරීම අශෝභනයි.
අපි දැක්කා මෙත්තිකා නෝනා පසුව ඊනියා අරගලයට ගිහිල්ලා හිටියා. ඒ විතරක් නොවෙයි, ඕමල්පේ සෝභිත නමැති භික්ෂු ප්‍රතිරූපකය සියලුම දේහ ආදාහනය කරන්න කියලා මහනායකලා පවා මුණ ගැහිලා කෑ ගැහුවා. එයත් පස්සේ අරගලයට ගිහිල්ලා සිංහල බෞද්ධ බලවේගය ඉවරයි කියලා පාරම් බෑවා. එහෙනම් මෙතන මේ ආදාහනය කිරීම පිටුපස ඊනියා අරගලයෙන් අවසන් වූ රෙජීම් චේන්ජ් කුමන්ත්‍රණය තිබෙනවාද කියාත් අපට සාධාරණ සැකයක් මතු වෙනවා. සිංහල බෞද්ධ සමාජයටත් මේකේ ඇත්ත දැන ගන්න ඕනා.
ඒ නිසා අපි ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා අනිල් ජාසිංහගෙන් මාධ්‍ය සාකච්ඡාවක් තියලා මේ ප්‍රශ්නය පිළිබඳව දීර්ඝ සහ නිශ්චිත පැහැදිලි කිරීමක් කරන්න කියලා. අර ඕනෑම දෙයක් විශ්ලේෂණය කරන දෙරණ 360 ට ජාසිංහව ගෙන්නලා මේ ගැනම කතා කරන්න කියලා අපි කළිඳුට ඉතාම උවමනාවෙන් කියා සිටිනවා. චමුදිත ඇතුළු කෑකෝ පප්පලාගේ ෂෝ එකටත් ගෙන්වන්න. ගෙන්වලා මේකේ මුල මැද අග හරියට අහන්න. අනිල් විතරක් නොවෙයි, හරි නම් ඒ කාලේ වසංගත පාලනය කරන්න උදේ ඉඳලා ටෙලිවිෂන් එකේ හිටිය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වාවත් ගෙන්වන්න. ධර්මය ඔබට මග වේවා!