රයිට් ටු රිකෝල්
කතානායක රංවලගේ උපාධි අවුල අනවශ්‍ය දේශපාලන අර්බුදයක් බවට පත් කිරීමට නිර්මාල් දේවසිරි උත්සාහ ගනිමින් තිබේ. ඔහු කියන්නේ සිය අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව රංවල බොරු කියා ඇති බැවින් දැන් ඔහුව මන්ත්‍රී තනතුරෙන් පවා ඉවත් කළ යුතු බවයි. එය ගොබ්බ තර්කයකි. රංවලට ඡන්දය දුන් ගම්පහ ජනතාව පබාටත් ඡන්දය දී පාර්ලිමේන්තු එව්වේය. ගම්පහ යනු ලංකාවේ වැඩිම මෝඩයන් ප්‍රතිශතයක් ජීවත් වෙන දිස්ත්‍රික්කය බව මෙරට මැතිවරණ ඉතිහාසය විසින් ඔප්පු කර තිබේ. දේවසිරි කියන හැටියට ඔවුන් රංවලට ඡන්දය දී තිබෙන්නේ රංවලට තිබෙනවාය කියූ ආචාර්ය උපාධිය නිසාය. එබැවින් එම වැසියන් රංවලට දුන් “ඡන්දය නැවත ගැනීමේ අයිතියක්” (Right to recall) තිබේය යන්න දේවසිරිගේ තර්කයයි.
පළමුව කිව යුත්තේ right to recall යනු නලින්ද ජයතිස්සගේ වචනයෙන් මෙවැනි “දණහිසෙන් පහළ” කාරණා සඳහා භාවිතා කරන මෙවලමක් නොවේ. වැසියන්ට Right to recall ඇත්නම් මුලින්ම recall කළ යුත්තේ මුදල් ඇමති හැටියට අනුර කුමාරවය. මන්ද IMF සමග රනිල්ගේ ආණ්ඩුව කළ ගිවිසුම නැවත සාකච්ඡා කොට වෙනස් කරන බවට පුන පුනා කියූ අනුර දැන් යස අගේට IMF එකේ පදේට නටමින් ඉන්නා නිසාය. Right to recall කරන්නේ තමන් කරන හෝ නොකරන බවට කියූ දෙයට පරස්පරව නියෝජිතයන් කටයුතු කරන විටය. රංවලගේ උපාධි කඩදහිය තිබ්බත් නැතත් ජනරජයට පයිසෙක වෙනසක් වෙන්නේ නැත. නමුත් IMF වැඩසටහන ඒ ආකාරයටම දිගටම ගෙන යාම අතිශය බැරෑරුම් ක්‍රියාවකි. දේවසිරිට ඒවා නොපෙනී රංවලගේ උපාධිය පමණක් පෙනෙන්නේ තක්කඩිකම නිසාය.
දෙවනුව කිව යුත්තේ දේවසිරි කියන හැටියට නිර්මාල්ද ඇතුළුව ගම්පහ වැසියන් රංවලට ඡන්දය දුන්නේ ඔහුට ආචාර්ය උපාධියක් තිබෙනවා කියා රංවල කියූ නිසා නම් එවැනි මෝඩ වැසියන්ට සිය ඡන්දය recall කිරීමේ “අයිතිය” කිසිසේත්ම නොදිය යුතු බවය. සොක්‍රටීස් කියූ පරිදි ඡන්ද අයිතිය නූගත් මෝඩයන් අතට නොදිය යුතුය. කිසිවෙකු කිසිවක් කියූ පළියට එය විශ්වාස කරනවා නම් එවැන්නවුන්ට recall අයිතිය තබා ඡන්ද අයිතියවත් නොදිය යුතුය. එක එකා එක එක දේ කියන කියන වෙලාවට ඡන්දය දීම සහ නැවත ගැනීම යනු right to recall නොවේ. දේවසිරි වලිගය පාගා ගෙන ඇත.
දේවසිරිගේ තර්කය අනුව හරි නම් සමස්ත NPP යම recall කළ යුතුය. රංවලට අපේක්ෂකත්වය දී තිබෙන්නේ NPP යමය. එසේනම් රංවල අරබයා සම්පූර්ණ වගකීම යන්නේ තමන්ගේ පක්ෂයේ හොරුන් නැති බවට සහතික කළ NPP යටමය. අප ප්‍රශ්න කළ යුත්තේ රංවල නොවේ. අප ප්‍රශ්න කළ යුත්තේ NPP යේ විධායක කමිටුවය. රංවලගේ සියලු සුදුසුකම් පරීක්ෂා කිරීමේ වගවීම තිබෙන්නේ ඔවුන්ටය. උදාහරණයක් හැටියට අනුර කුමාර නිතරම කීවේ ලංකාවේ වැසියන්ගේ ධනය සූරා කන චෞර වළල්ල එසේ ක්‍රියාත්මක වෙන්නේ දේශපාලන අධිකාරියේ පිහිටෙන් බවයි. එබැවින් එළවිය යුත්තේ දේශපාලන අධිකාරිය බවයි. රංවල බොරු කියා හෝ ඡන්දයට එන්නේ NPP යේ පිහිටෙනි. එසේ නම් වගකිව යුත්තේ NPP යයි. ලංකාවේ සියලු හොරකම් ගැන ෆයිල් තිබෙන මහලොකු NPP යේ මහත්තුරුන්ට තමන්ගේ අපේක්ෂකයන් කරන බොරුව අහු වී නැත. පව් නේද… දේවසිරිගේ ප්‍රකාශ අතාර්කික, ඒක පාර්ශවික, දේශපාලන විකාර පමණී.
NPP ආණ්ඩුව බලයට පැමිණියේ අමූලික බොරු කප්පරක් කියාය. ඒවාට මේ රටේ ජීවත් වෙන නූගත් මෝඩ ගොඩේ බයියන් රැවටුණාට දැන් කරන්නට දෙයක් නැත. දේවසිරි දැන් නිකම් සුචරිත බබා පාට් දැම්මාට වැඩක් නැත. NPP යට කවුරු හරි ඡන්දය දුන්නේ පොර්ට් සිටියේ කළුගල් පරිමාවේ සිට උගන්ඩා ඩොලර් දක්වා කියූ ගල් පැලෙන පච ඇත්ත කියා විශ්වාස කර නම් ඔවුන්ට කියන්නට තිබෙන්නේ ඔළුව අතගා බලපලලා අං දෙක තියෙනවද කියා පමණී. බොරුවෙන් බලයට පැමිණි ආණ්ඩුවකට බොරුකාරයන්ට දඬුවම් දීමට කිසිදු බැඳීමක් නැත. දිස් ඉස් පොලිටික්ස්.
Subscribe to my WhatsApp Channel: https://whatsapp.com/channel/0029VampDaLAe5VpMwYZUk3b