2024 ලොකුම පාඩම
2024 න් කෙනෙකුට උගත හැකි වැදගත්ම පාඩම නම් බොරු නොකියා සිටීමේ වැදගත්කමයි. ඒ සඳහා මාලිමා ආණ්ඩුවේ ඕනෑම බොරුකාරයෙක් උපමාවට ගත හැකිය. නමුත් මේ දිනවල ප්‍රසිද්ධ බොරුකාරියකගේ කර්ම විභාගය මෙහි ලා කාලෝචිතය.
කෙනෙකු දැන හෝ නොදැන හෝ බොරුවක් කිව හොත් ඉක්මනින් හෝ කල් ගත වී හෝ එයට විපාක ලැබේ. “උගන්ඩාවට ඩොලර් ගෙන ගිය” බොරුව ලක්ෂ හැට අටක් පමණ වන මෝහාන්ධකාරයේ ගිලුණු පෘථග්ජනයා හෙවත් උපන්ගෙයි මෝඩ ජනතාව විශ්වාස කළේය. එය බොරුවක් බව බොරුකාරිය විසින්ම පිළිගත් පසු තමා රැවටුණු බව වැටහුණු මෝඩ ජනතාව බොරුකාරියට නින්දා අපහාස කරන්නට විය. කර්මය සහ විපාකය යනු එයයි.
බොරුකාරිය විසින් රැවට්ටුවේ මෝඩයන් එකෙකු දෙන්නෙකු නොවේ. මුළු රටක්ම රැවටුණාය. එවිට විපාකය එයට සාපේක්ෂව දරුණු වේ. මන්ද එසේ රැවටීමට ලක් වූ සියලු දෙනා ඇයට එරෙහිව අවමන් කරන නිසාය. එබැවින් ඔබ යමක් පවසන විට එය සත්‍යයක්මදැයි හොඳින් විමසා බලන්න. සුළු හෝ සැකයක් ඇත්නම් එය පැවසීමෙන් වළකින්න. විශේෂයෙන්ම ප්‍රසිද්ධියේ කතා කරන විට සියපාරක් හිතන්න.
තවද බොරුකාරිය පැවසුවේ කුඩා බොරුවක් නොවේ. රුපියල් ගණනක බොරුවක්ද නොවේ. ඇය පැවසුවේ ඇමරිකන් ඩොලර් බිලියන ගණනක මහා විශාල බොරුවකි. බොරුව විශාල වන තරමට එහි විපාකය දරුණු වේ. අද ඇය මුළු රටේම අවඥාවට අපහාසයට නින්දාවට ලක් වන්නේ ඇයගේ බොරුවේ මහා පරිමාව නිසාය.
බොරුවක් කීමේදී එය බොරුවක් බව නොදැන කීමට වඩා දැන දැන බොරු කීම වඩාත් විශාල විපාක ගෙන දේ. කෙනෙකුගේ නොදැනුවත්කමට බොරුවක් කියවුණා නම් ඒ බව තේරුම් ගත් පළමු අවස්ථාවේම චිත්ත වේදනාවක් දැනේ. එය නිවැරදි කරන තුරු නින්ද යන්නේ නැත. ලැජ්ජාවට පත්වන එම තැනැත්තාට අවංකව වරද පිළිගත හැකිය. එවිට විපාකය බොහෝ දුරට සංසිඳේ.
නමුත් තමන් කියන්නේ බොරුවක් බව දැන දැනම අනුන්ව රැවටීමේ චේතනාවෙන් තමන්ගේ වාසියට බොරු කීම දරුණු විපාක ගෙන දේ. එවිට ඕනෑම සමාජ විරෝධී වරදක් කිරීමට ඔවුන් පෙළඹේ. එය ඉතාම බරපතළ තත්ත්වයක් බව අමුතුවෙන් කිව යුතු නැත. ලෝකයේ බිහි වූ සුප්‍රසිද්ධ සයිකොපතික ඝාතකයන් පවා බිහි වී තිබෙන්නේ එලෙසය.
ඒ සියල්ලටම වඩා නැවත ඔවුන් කියන කිසිම දෙයක් කිසිවෙකු හෝ විශ්වාස කරන්නේ නැත. ඔවුන්ගේ පවුලේ අය, මිතුරන්, ඥාතීන් සහ ඔබ සේවය කරන සංවිධානයේ සහෝදරයන් පවා නැවත ඔවුන් කියන එක වචනයක් විශ්වාස කරන්නේ නැත. නමුත් මාගේ ලිපි කියවන බුද්ධිමතුන්ගෙන් මා ඉල්ලා සිටින්නේ එවැනි පාපිෂ්ඨ පුද්ගලයන්ට අනුකම්පා කරන ලෙසයි. උගන්ඩා බොරුවෙන් අභූත චෝදනාවට ලක් කළ රාජපක්ෂවරුන් එම අසත්‍ය චෝදනා සිනහා මුසු මුහුණින් දරා සිටින උදාර ආකාරය මහත්මා ගුණයකි.
ඔබට පේනවද කර්මය සහ විපාකය වැඩ කරන ආකාරය? පස්පවින් හෝ වැළකී සිටින්න කියන්නේ මේ නිසාය. 2025 වසරේ ධර්මය ඔබට මග වේවා!
