නිධානයේ කතාව
දවසක් ධම්මික පෙරේරා එයාගේ වාහනෙන් ඈත ගම් පළාතක ගමනක් යනවලු. තේකක් බොන්න කියලා පාර අයිනේ හදලා තිබුණ පොඩි පෙට්ටි කඩයක් ළඟ වාහනේ නැවත්තුවලු. පෙට්ටි කඩේ අයිති අනුර කුමාර ධම්මිකට උණු උණු තේකක් හදලා දුන්නලු. තේක බොන ගමන් ධම්මික අවට සිරි නරඹන්න ගත්තලු. ඈත ලස්සන කඳු පන්තිය. මෑත ලස්සන නිම්නය. ගහකොළ පිරුණු සෞම්‍ය පරිසරය. කුරුල්ලන්ගේ කිචිබිචිය. අසලින් ගලා යන දිය ඇල්ල. පුදුම ලස්සනක්.
ඒ ලස්සන බල බල හිටිය ධම්මික පෙරේරාගේ ඇස් අන්තිමට නතර වුණේ අනුර කුමාරගේ මුස්පේන්තු මූණ ඉස්සරහා. මූණ පුරා රැවුල වවාගෙන, ඔරවගෙන, තොල් පෙරළගෙන, කට ඇද කරගෙන, කිසිම හිනාවක් නැතුව, තරහෙන් මූණ කළු වෙලා ඉන්න ඒ මනුස්සයා දැක්කම ධම්මිකට සසර කලකිරුණා. බුම්මගෙන හිටිය අනුර කුමාරට ධම්මික රුපියල් දාහක් දුන්නලු. ඒක ගත්ත අනුර කුමාර “තව කීයක් හරි දෙන්න” කියලා ඉල්ලුවා. “තමුසේ නිධානයක් උඩ හිඟා කන මිනිහෙක්” කියලා, දාහේ කොළයක් විසික් කරලා වාහනේ නැගලා ධම්මික යන්න ගියාලු.
ඔහොම කාලයක් ගත වුණාලු. ධම්මික පෙරේරා ආයෙත් ඒ පාරේම ගමනක් යනවලු. අර කඩේ මතක් වෙලා රියදුරාට කිව්වලු එතනින් නවත්තන්න කියලා. රියදුරත් බල බල ගිහිල්ලා තැනකින් නැවත්තුවලු. ඒත් එතන කඩයක් තිබුණේ නැහැ. ධම්මික බැහැලා බැලුවලු. කඩේ තිබුණු තැන විශාල වලක්. ගස් කොළන් නැහැ. පුංචි දිය ඇල්ල හිඳිලා. කුරුල්ලෝ නැහැ. මෙතන වුණේ මොකක්ද කියලා ධම්මිකට ප්‍රෙහෙලිකාවක්. ඔන්න එතකොට එතනින් ඇවිදගෙන යනවලු නිර්මාල් දේවසිරි. ධම්මික නිර්මාල්ට කතා කරලා ඇහුවලු “අයිසෙ, මෙතන තිබුණ කඩේට මොකද වුණේ?” කියලා. නිර්මාල් දත් සෙට් එක පෙන්නලා හිනා වුණාලු. හිනා වෙලා කතාව කිව්වලු.
“මෙතන කඩයක් කර ගෙන හිටිය අනුර කුමාරට දවසක් කවුද මහත්තයෙක් කියලා තියෙනවා එයා ඉන්නේ නිධානයක් උඩ කියලා. එදා ඉඳලා මිනිහට නිදන් පිස්සුව ඔළුවට ගැහුවා. බැකෝ දාලා ඉඩම හාරන්න ගත්තා. ගස් කප කප මුළු ඉඩමම හෑරුවා.” නිර්මාල් කියාගෙන ගියා. “ඉතින් නිධානයක් හම්බ වුණාද?” ධම්මික ඇහුවලු. නිර්මාල් ආයෙත් එයාගේ දත් සෙට් ඒක පෙන්නලා හිනා වුණාලු.
“මොන නිධානයක්ද මහත්තයො, අන්තිමට මිනිහට ඉඩමත් නැති වුණා, හම්බ කරගත්ත කඩෙත් නැති වුණා, දැන් මිනිහා කොටුව බස් ස්ටෑන්ඩ් එකේ හිඟා කනවා…”
“ඕ මයි ගෝඩ්!” අනුර කුමාරගේ මෝඩකම ගැන ධම්මික පුදුම වුණාලු.
ධර්මය ඔබට මග වේවා!
Subscribe to my WhatsApp Channel: https://whatsapp.com/channel/0029VampDaLAe5VpMwYZUk3b