වංචා කළ විද්‍යාඥයා
මීට වසර දෙකකට කලින් ලෝකයම හොල්ලන සොයා ගැනීමක් කළ ලාංකික භෞතික විද්‍යාඥයෙක් ගැන ප්‍රවෘත්ති පළ වුණා. කාමර උෂ්ණත්වයේ අධිසන්නායක ලෙස භාවිතා කළ හැකි රසායනික ද්‍රව්‍ය සොයා ගත් බව කියූ රංග ප්‍රභාෂ්වර ඩයස් ටයිම්ස් සඟරාවේ අනාගත ලෝකය වෙනස් කළ හැකි නායකයන් 100 දෙනා අතරටත් එකතු වුණා. ඒ කියූ ආකාරයටම අනාගතය වෙනස් කරමින් අද ඔහු රැකියාව කළ එක්සත් රාජධානියේ රෝචෙස්ටර් විශ්ව විද්‍යාලයෙන් නෙරපා හැර තිබෙනවා. එයට හේතුව වන්නේ ඔහු කර ඇත්තේ විශාල වංචාවක් බව සියලු විමර්ශනවලින් ඔප්පු වීමයි.
රංග ඩයස් කොළඹ රාජකීය විද්‍යාලයේ උගෙන, කොළඹ විශ්ව විද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ලබා ගෙන, වොෂිංටන් ස්ටේට් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ගත් අයෙක්. ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධනය පවා වංචා සහගත බව දැන් හෙළි වී තිබෙනවා. ඔහු විසින් දුන් සම්මුඛ සාකච්ඡාවක ඔහු කියනවා “ඔහුට අවශ්‍ය ඕනෑම දෙයක් ලබා ගැනීමට ඔහු කෙසේ හෝ ක්‍රමයක් සොයා ගන්නවා” කියා. ඒ කියූ ආකාරයටම රංග ඩයස් සොයා ගෙන තිබෙනවා බොරුවෙන් දේවල් ලබා ගන්න හැටි. හරියට ජනාධිපතිතුමා කොහොම හරි බලය ලබා ගත්තා වගේ.
විද්‍යාත්මක ක්‍රමයේ තිබෙන විශේෂත්වය මෙයයි. එනම් ඔබ කිසියම් පර්යේෂණයක් තුළින් සොයාගැනීමක් කළ හොත්, ඕනෑම අයෙකුට එම පර්යේෂණය නැවත කිරීමෙන් එම ප්‍රතිඵලයම ලැබිය යුතුයි. මේකම තමයි බුද්ධ ධර්මයේ “අරිය පරියේසනය” තුළ කියන්නෙත්. බුදුන් වහන්සේ සිදු කළ පර්යේෂණය වෙනත් ඕනෑම අයෙකුට කර බැලිය හැකියි. “එව බලව” කියන්නේ ඒකයි. එය කරන්නාට ලැබෙන්නේ එකම ප්‍රතිඵලයමයි. එහෙම වුණොත් පමණයි එය “සත්‍යය” ලෙස පිළිගන්න පුළුවන්. නලින් ද සිල්වා කියන ඊනියා මගේ ලෝකයේ එකක්, අනෙකාගේ ලෝකයේ තව එකක් වෙන්න බැහැ. ඒවා අනේකාතන්තවාදී පට්ටපල් බොරු.
මේ වංචා චින්තනය ලාංකිකයාට උපතින්ම වැඩිපුර පිහිටලා තිබෙනවා. ඒ නිසා තමයි ලාංකිකයන්ට විද්‍යාත්මක සොයාගැනීම් කරන්න බැරි. නැතුව නලින් ද සිල්වා කියන ඊනියා පෙරදිග චින්තනයක් නිසා නොවෙයි. ලාංකිකයා යනු බොරු හදන්නත්, හදන බොරු කට උල් කර කියන්නත්, ඒ කියන බොරු අහන්නත්, බොරුවෙන්ම ජීවත් වීමටත් උපන් හපන් පිරිසක්. නමුත් විද්‍යාත්මක ලෝකයේ එහෙම බොරු කරන්න බැහැ. ඔබ කරන ප්‍රකාශ වෙනත් විද්‍යාඥයන් විසින් දැඩි විමර්ශනයට ලක් කෙරෙනවා. එතකොට බොරුව හෙළි වෙනවා. ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. ලංකාවේ ලොකුම බොරුව කියන එකාට මල්මාල දාලා, පාවඩ දාලා පිළිගන්නවා. ඒ කීවේ බොරුවක් බව පෙන්වන එකාට කුණුහරුපෙන් බනිනවා. ඒක තමයි ලාංකිකයාගේ ගෝලීය අනන්‍යතාවය. කොහේ ගියත් බොරුව, හොරකම, වංචාව පැත්තෙන් කප් ගහපු මිනිස්සු.
ලංකාවේ මිනිස්සු කලින් කලට මෙහෙම ලෝක බොරු ගහලා ප්‍රසිද්ධ වෙනවා. ලෝකයම හොල්ලන සොයා ගැනීමක්, පිළිකාව නසන බෙහෙතක්, ලංකාවේ ණය එක සැරේ ගෙවන්න පුළුවන් නිෂ්පාදනයක්, ලංකාවටම කන්න දෙන්න පුළුවන් උපකරණයක් වගේ හෙඩිමකින් එනවා නේද… ඒක පට්ටපල් බොරුවක් වීමේ සම්භාවිතාවය ඉතා වැඩියි. නියම විද්‍යාඥයෙක් නම් කවදාවත් පම්පෝරි ගහන්නේ නැහැ. මොකද තමන්ගේ සොයාගැනීම ගැන වැඩිපුරම සැක කරන්නේ ඔහුමයි. ඒ ගැන කතා කරන්නේ ඉතාම පරෙස්සමෙන්. කවුරු හරි ඇවිල්ලා හෙන ආඩම්බරෙන් තමන්ගේ සොයාගැනීමක් ගැන කතා කරනවා නම්, ඒක තමයි අරක බොරුවක් කියා හිතන්න පුළුවන් පළමු ඉඟිය.
නමුත් රංග ඩයස් පිළිගන්නේ නැහැ ඔහු කළේ වංචාවක් කියා. ඒකත් ලාංකිකයා තුළ දැකිය හැකි විශේෂ ලක්ෂණයක්. එනම් තමන් කළ බොරුව තමන්ම විශ්වාස කිරීමයි. ලංකාවේ බොහෝ මිනිසුන් එහෙමයි. තමන් හදන බොරුව ටික දවසකින් ඇත්ත කියා තමන්ම විශ්වාස කරනවා. ධර්මය ඔබට මග වේවා!
Subscribe to my WhatsApp Channel: https://whatsapp.com/channel/0029VampDaLAe5VpMwYZUk3b