බල තණ්හාව

මාලිමාවට ආසන 159 ක් දීම තරම් අප සතුටු විය යුතු දේශපාලන ප්‍රතිඵලයක් මෑතක ලැබී නොමැත. එය අසීමිත බලයකි. ගෝඨාභයගේ ආණ්ඩුවට දුන්නේ සිංහල බෞද්ධ බලය පමණී. ඒ බලය පාලනය කර ගැනීම කොපමණ අපහසු වුණාද කියා දන්නේ අපය. මෙවර සිංහල බෞද්ධ මදිවාට දෙමළ, හින්දු සහ කතෝලික බල සියල්ලත් මාලිමාවට දී තිබේ. (මුස්ලිම් නම් එච්චරම දී නැත.) 

බලය ලැබෙන්නේ බලය කෙරෙහි තිබෙන තණ්හාවේ ප්‍රමාණයටය. එය කර්මානුරූපීය. ඔබ බලයට කෑදර වන්නේ ටිකක් නම්, ඔබට ලැබෙන්නේ බලය ටිකකි. ඔබට විශාල බල කෑදරකමක් තිබේ නම්, ඔබට විශාල බලයක් ලැබේ. මේ ලෝකයේ ඕනෑම දෙයක් එසේය. බලය වෙනුවෙන් මාලිමාව දඟලපු දැඟලිල්ලට සරිලන විශාල බලයක් ඔවුන්ට ලබා දී තිබේ. සජබයේ බල තණ්හාවේ තරමට ඔවුන්ට බලය ලැබී තිබේ. පොහොට්ටුවේ බල තණ්හාවේ තරමට ඔවුන්ට බලය ලැබී තිබේ. මෙය ඉතාම සාධාරණ ප්‍රතිඵලයකි.

එවැනි අති විශාල බලයක් නඩත්තු කිරීම මාලිමාව හැරෙන්නට වර්තමානයේ වෙනත් කිසිදු පක්ෂයකට කළ නොහැකිය. එවැන්නක් කළ හැකිව තිබුණේ කට්ට කපටි කෛරාටික ජේ. ආර්. ජයවර්ධනට පමණී. ජේ. ආර්. ගෙන් පසුව එවැනි හපන්කමක් කළ හැකි පාලකයෙක් මේ මිහිපිට වේ නම් ඒ අතිගරු ඒ. කේ. දිසානායක පමණී. ජේ. ආර්. එදා කීවාක් මෙන් දැන් අනුර කුමාරට “කළ නොහැක්කේ පිරිමියෙක් ගැහැණියක් කිරීමත්, ගැහැණියක් පිරිමියෙක් කිරීමත් පමණී.” (No pun intended.)

“Power tends to corrupt and absolute power corrupts absolutely” කියා සුප්‍රසිද්ධ කියමනක් තිබේ. එනම් “බලය විසින් දූෂණය කෙරේ, අසීමිත බලය විසින් අසීමිතව දූෂණය කෙරේ.” මෙය කියා තිබෙන්නේ ඇක්ටන් සාමිවරයාය. එයින් අදහස් කරන්නේ බලය වැඩි වන තරමට පුද්ගලයාගේ සදාචාරය (morality) පිළිබඳ අවබෝධය අඩු වන බවය. බොහෝ අය සිතන්නේ මාලිමාවට විශාල බලයක් දීමෙන් වංචා හා දූෂණ නැති වෙනවා කියාය. නමුත් ලෝක සත්‍යය අනුව “බලය වැඩි වන තරමට වංචාව හා දූෂණය වැඩි වේ”. මෙවැනි ගැඹුරු ධර්ම කාරණා පිළිබඳව මෝඩ අන්ධකාරයේ ගිලුණු ලංකාවේ පෘතග්ජනයාට දැනුමක් නැත.

මෙයට සරලම පරීක්ෂණය මම ඔබට කියන්නම්. අනුර කුමාර බලය ඉල්ලන විට පොරොන්දු වූයේ විධායක ජනාධිපති ධුරය තමා විසින් අහෝසි කරනවා කියාය. ඔබ සිතනවාද ඔහු එය කරාවිය කියා? ඒ වගේම මාලිමාව බලය ඉල්ලන විට පොරොන්දු වූයේ අලුත් ව්‍යවස්ථාවකින් දෙමළ ජනතාවට බලය බෙදනවා කියාය. ඔබ සිතනවාද ඔවුන් එය කරාවිය කියා? මෙය කියවන මාලිමාවේ අයටම දැන් හිතෙනවා නේද එහෙම කරන්න ඕනා නැහැ කියා… අන්න ඒකට තමයි ඇවැත්නි, බල තණ්හාව කියන්නේ. ධර්මය ඔබට මග වේවා!

ජනප්‍රිය ලිපි

ගෝඨාභය සහ බැසිල්

දඩයක්කරුවා දඩයම වීම

ප්‍රභූන්ගේ කවටයා