අන්ධයන් සමග වාද කිරීම

වරක් අපේ පාසල සහ රත්මලානේ අඳ ගොළු බිහිරි දරුවන් සඳහා වූ පාසල අතර සුහද විවාදයක් පැවැත්විණි. අපේ කණ්ඩායම් නායකයාව සිටියේ මාගේ කල්‍යාණ මිත්‍ර රවින්ද්‍ර මනෝජ් ගමගේ ය. මා හැමදාම මෙන් කරුණු බිඳින හතරවැනියා ය. 

විවාදයට සූදානම් වන විට අප එකඟ වූයේ ප්‍රතිවාදී පිළේ අන්ධ කථිකයන් හට සිත් නොරිදෙන ලෙස කථා කළ යුතුය කියා ය. ඒ අනුව සාමාන්‍යයෙන් විවාදයක භාවිතා කරන “ඇස් පෙනෙන කෙනෙකු නම් ඔහොම කියන්නේ නැහැ…”, “ඇස් ඇරලා බලන්න…”, “ඇස් දෙක හොඳට තියාගෙන වැරදි පාරේ යනවා…” වැනි සරදම් නොකර සිටීමට අපි එකඟ වීමු. කොටින් ම කිසිදු ශාරීරික ඉන්ද්‍රියානුබද්ධ හැඟවීමක් නොකර සිටීමටත් සාමානයෙන් අප දක්වන දැඩි වාග් ප්‍රහාර ශෛලිය නොකර සිටීමටත් අපි සිතා ගත්තෙමු.

විවාදය පැවැත්වුණේ ඔවුන්ගේ පාසලේ ප්‍රධාන ශාලාවේ ය. අප සතර දෙනා එහි යන විටත් ඔවුන් සියල්ල සූදානම් කර තිබිණි. වේදිකාව මත දෙපස මේස සහ පුටු හතර බැගින් තබා තිබිණි. ඔවුන්ගේ පාසලේ ශිෂ්‍යශිෂ්‍යාවෝ ශාලාවේ අසුන් ගෙන සිටියෝ ය. මෙයට පෙර එම පාසලේ නිවාසාන්තර ක්‍රීඩා තරග සඳහා ස්වේච්ඡාවෙන් සහාය වීමට බාලදක්ෂයෙකු ලෙස මම එහි ගොස් තිබූ හෙයින් එම පරිශ්‍රය තරමක් හුරුව තිබිණි.

විවාදයේ මාතෘකාව දැන් මට මතක නැත. ඔවුන් යෝජකයන් ය. නායකයන් දෙදෙනාගේ කථා එතරම් විශේෂයක් නැතිව කෙරිණි. අප කථා කරන අතරතුර ඔවුන් සිය බ්‍රේල් යන්ත්‍ර යොදා ගනිමින් වේගයෙන් කරුණු කොටා ගන්නා ආකාරයත් ඒවා ඇඟිලි තුඩින් කියවමින් නැවත කථා කරන ආකාරයත් දුටු අප මවිත විය. නමුත් අප සැබැවින්ම මවිත වූයේ එයින් නොවේ. 

තුන්වැනියා හතරවැනියා වන විට ඔවුන්ගේ වාග් ප්‍රහාරය ඇරඹිණි. “ඇස් දෙකම පෙනිලත් ප්‍රතියෝජක පිළේ සහෝදරයන් ට හරියට අකුරු කියවගන්න බැහැ…” “ඇස් ගෙඩි තිබුණට මොළ ගෙඩියක් නැහැ…” වැනි සරදම් යොදා ගනිමින් ඔවුන් පහර දෙන විට ශාලාවේ ශිෂ්‍යශිෂ්‍යාවන් උස් හඬින් සිනාසෙමින් අත්පුඩි තලන්නට විය. සැබැවින්ම ඔවුන් අතර දක්ෂ කථිකයෙකු සහ කථිකාවියක සිටි බව මා හට මතක ය. එම අත්දැකීම අපට සුන්දර මතකයකි.

එයින් මා තේරුම් ගත්තේ ආබාධිත යැයි කියා ඔවුන්ට විශේෂ අනුකම්පාවක් දැක්වීම ඔවුන්ට කරන අසාධාරණයක් බවයි. ආබාධිතයන් ට අප වෙනස් කොට සැලකිය යුතු නොවේ. ඔවුන්ට විශේෂ අවශ්‍යතා තිබේ. සැරයටියෙන් යාමට මාර්ග ලකුණු තිබිය යුතුය. නමුත් ඔවුන්ට විශේෂ සැලකිල්ලක් අවශ්‍ය නැත. ඔවුන්ට විශේෂ සැලකිලි දැක්වීම සැබැවින්ම ඔවුන්ගේ ආබාධය හුවා දැක්වීමකි. එයම ඔවුන් අවතක්සේරු කිරීමකි. වෙනත් ඕනෑම විවාදයක කථා කරන්නාක් මෙන් වෙනසක් නැතුව අප කථා කළ යුතුව තිබිණි. ඔවුන් අපෙන් බලාපොරොත්තු වූයේ එයයි. ඔවුන් ට අවශ්‍ය සමාජයේ සමානයන් වීමට ය.

තමන්ගේ ආබාධය අවියක් කර ගන්නා අයද සිටී. අන්ධ හිඟන්නා තමන්ගේ ආබාධය පෙන්වා අනුකම්පාව ගනී. ඇතැමුන් සිය ආබාධය පෙන්වා විවිධ වරප්‍රසාද ගනී. නමුත් සාතිශය බහුතරයක් ආබාධිතයන් එසේ නැත. ඔවුන් සාධාරණ මිනිසුන් ය. ඔවුන් ට කාගේවත් අනුකම්පාව අවශ්‍ය නැත. එසේ අනුකම්පා කිරීම ම ඔවුන්ට කරන අවමානයකි. මේ අතර ඇතැමුන් ආබාධිතයන් සිය වාසියට යොදා ගන්නා අවස්ථා ද තිබේ. තමන්ගේ ජාතික ලැයිස්තුවට ආබාධිතයෙක් දාගෙන එය විකුණා ඡන්දය ගැනීම අර ආබාධිතයා කෙළෙසීමකි.

නමුත් කෙනෙකු අසනු ඇත්තේ ආබාධිතයන්ගේ සිත් රිදෙන ආකාරයට කථා නොකළ යුතු නොවේද කියා ය. ජෝර්ඩන් පීටර්සන්ගේ ලෝකප්‍රසිද්ධ චැනල් 4 විවාදයේ ඔහු පෙන්වා දුන්නාක් මෙන් “වාද කිරීමට නම් අනෙකාගේ සිත රිදවන අවදානම අනිවාර්යෙන්ම ගත යුතු ය”. සිත් නොරිදවා ගෙන වාද විවාද කළ නොහැකි ය. එසේ කරනවා නම් ඒවා ව්‍යාජ රඟපෑම් පමණී. රැවටීම් ය. දේශපාලනය කරනවා නම් ඕනෑම වචනයක් දරා ගත හැකි විය යුතු ය. ජාතික ජනබලවේගයේ සාහසිකයන් අපට කරන අසභ්‍ය සහ අභූත චෝදනාවලින් අප සැලෙන්නේ නැත. දිස් ඉස් පොලිටික්ස්.

ජනප්‍රිය ලිපි

ගෝඨාභය සහ බැසිල්

දඩයක්කරුවා දඩයම වීම

ප්‍රභූන්ගේ කවටයා